චරිත රැසක් තනි මිනිහෙක්! පරිස්සමෙන්..

ඔබෙන් ඇහුවොත් ඔබ කවුද කියලා ඔබ කියන්නේ ඔබේ නම. අපි හිතමු ඔබ නිමල් කියලා. ඔබට නිමල් කියන නම දාන්න ඇත්තේ දෙමව්පියෝ. මේ නම වටා ඔබේ චරිතය, ගති ලක්ෂණ කුඩා කාලයේ සිටම ගොඩ නැගෙනවා. ඔබේ වට පිටාවේ සිටින නෑදෑ හිත මිතුරන් සියල්ලම නිමල් කවුද කියලා ඇහුවොත් ඔබේ රැකියාව, ඔබේ නම, ඔබ කාගේ කවුද?, ඔබ පදිංචි ස්ථානය, ඔබ මොන වගේ පුද්ගලයෙක්ද? යන විස්තර සියල්ලම පවසාවි. මේක තමයි ඔබේ හඳුනාගැනීම. මේකට කියනවා ඔබේ අනන්‍යතාවට (Identify of self) කියලා.

ඒත් ඔබ දන්නවාද? මේ අනන්‍යතාවය බිඳ වැටුණු මානසික රෝග තිබෙන බව? සමහර විට ඔබ තුළ චරිත දෙක තුනක් නෙවෙයි විවධ චරිත සීයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබිය හැකි අපූරැ රෝගයක් මනෝ වෛද්‍ය විද්‍යාව තුළ සොයාගෙන තිබෙනවා. මේ රෝගයට ඉස්සර කීවේ බහු චරිත පෞරුෂ භින්නතාවයක්* කියලා. (Multiple personality Disorder)

නමුත් දැන් මෙම රෝගය හඳුන්වන්නේ අනන්‍යතාවයට විකෘති වීමේ රෝගය (Dissociative Identify Disorder)

සුජීවාගේ කතාව

සුජීවා අපේ සායනයට යොමු වූ තවත් තරුණියක්. ඇගේ වයස අවු. 26යි. ඇය ගුරැවරියක්. සුජීවා සායනයට යොමු වූයේ ඇගේ හොඳම මිතුරිය වන නයෝමි සමඟයි. ඇය ලස්සනට ඔසරියකින් සැරසී සිටියා. ඒත් ඒ ලස්සන සියල්ල යටපත් කරමින් ඇගේ මුහුණ තුළ පෙනුණේ දැඩි කලකිරීම, වේදනාව සහ දුකයි. සුජීවා ඇගේ කතාව මෙසේ ආරම්භ කළා.

මම ගුරුවරියක්. මගේ ස්වාමියාගෙන් දික්කසාද වෙලා දැන් අවු. 3ක් වෙනවා. නුගේගොඩ මහල් නිවාසයක කුලියට ගෙයක් අරන් ඉන්නේ. මම තනියම ඉන්නේ ඩොක්ටර්. මහ පුදුම දෙයක් ඊයේ සිද්ධ වුණා. මම ගිය සතියේ සතියකට වුවමනා බඩු ගෙනත් ශීතකරණයේ දැම්මා. ඊයේ බලනකොට ඒ බඩු මොකුත්ම ශීතකරණයේ නෑ. මගේ පර්ස් එකේ රුපියල් 10000/-ක් තිබුණා. ඊයේ උදේ නැගිටලා බලනකොට ඒ 10000/- නැති වෙලා. හොරෙක් ආව බවක් නම් පේන්න නෑ. මට හිතාගන්න බෑ මොනවා වෙනවද කියලා. මගේ යාළුවා තමයි මාව මේ සායනයට එක්කගෙන ආවේ.

සුජීවාගේ හොඳම මිතුරිය වන නයෝමි තවත් අපූරු රහසක් මෙසේ එළි කළා.

සුජීවා මගේ හොඳම යාළුවා. පොඩි කාලේ ඉඳලම අපි දෙන්නා යාළුවෝ. පසුගිය සතියේ ඇත්තටම ඇය ගෙදර හිටියේ නෑ. ඇයට සුපර් මාකට් එකේදි යම්කිසි පුද්ගලයෙක් හමුවෙලා තියෙනවා. සුජීවා මේ කෙනාට ඇයව හඳුන්වලා දීලා තියෙන්නේ ඇය ගුවන් සේවිකාවක් කියලා. ඇගේ නම කියලා තියෙන්නෙත් වැරදියට. ඇය ඔහු සමඟ නුවර එළියේ ගිහින් දවස් 5ක් ඉඳලා තියෙනවා. මේ හැමදේම මම හොයාගත්තේ සුජීවාගේ Phone එකේ තිබුණ රෙකෝඩරයෙන්. ඒත් පුදුමේ ඒක නෙවෙයි. ඇයට මේ කිසිම දෙයක් මතක නෑ.

මෙසේ කියාගෙන යන නයෝමි සුජීවාට සිදු වූ තවත් අපූරු සිද්ධියක් හෙළි කළා.

මේ සිද්ධිය වුණේ මාස තුනකට විතර ඉස්සර. එදා ඉරිදා දිනයක්. මම සුජීවා හම්බවෙන්න එයාගේ flat එකට ගියා. දොරට තට්ටු කළාම දොර ඇරියා. සුජීවා කොහොමද කියලා මම ඇහුවා. ඔයා කවුද? ඇයි ඔයා මෙහෙ ආවේ කියලා මගෙන් ඇහුවා. මම නයෝමි කීවා. ඒත් ඇය අඳුරගත්තේ නෑ. මම ඇගෙන් නම ඇහුවා. ඇගේ නම මිසිස් සමරජීව කියලා කීවා. ඇය රෑපවාහිනියක අධ්‍යක්ෂකවරියක් කීවා. මට ගේ ඇතුළට එන්න කියලවත් කීවේ නෑ. පස්සේ දවසක මම මේ ගැන ඇගෙන් ඇහුවා. ඇයට ඒ ගැන කිසිම මතකයක් නෑ.

සුජීවාගේ ළමා කාලය ගැන අපි තව දුරටත් කරුණු විමසුවා. ළමා කාලයේ සිදු වුණු කිසිම විශේෂ සිදුවීමක් ඇයට මතක නෑ. නමුත් ඇගේ මිතුරිය වන නයෝමි සුජීවාගේ ළමා කාලය ගැන අපූරු රහසක් හෙළි කළා.

මට සුජීවා මේ කතාව කියලා තියෙන්නේ මීට අවු. 5කට ඉස්සර. සුජීවාගේ පියා ව්‍යාපාරිකයෙක්. මව ගුරුවරියක්. පියාගේ ව්‍යාපාරයේ කළමනාකරු සුජීවලාගේ ගෙදර නැවතිලා ඉඳලා තියෙන්නේ. ඔහුගේ වයස අවු. 32ක් පමණ කියලා කීවා.

මෙම පුද්ගලයා සුජීවාගේ මව සමඟ ලිංගික සම්බන්ධතාවයක් පවත්වලා තියෙනවා. මේක සුජීවාගේ තාත්තා දැනගෙන ඉඳලා නෑ. මේ අතරේ මේ මිනිහගේ බැල්ම සුජීවාටත් යොමු වෙලා තියෙනවා. එතකොට සුජීවාගේ වයස අවු. 12යි. ඇය නොයෙකුත් ලිංගික අඩන්තේට්ටම්වලට ගොදුරු වෙලා තියෙනවා. ඒවායෙන් ගැලවීමට ඇය ඇගේ මවට මේ ගැන පැවසුවත් කිසිම සැලකිල්ලක් ඒ ගැන දක්වලා නෑ. ඒත් අද වෙනකොට සුජීවාට මේ සිද්ධි මොනවත් මතක නැහැ.

ඉහත එන සත්‍ය කතාවේ සුජීවා නම් ගුරුවරිය තමා නොදැනුවත්වම චරිත කීපයක ජීවත් වන බව ඉහත කතාවෙන් පෙනේ. ඇය වරෙක ගුවන් සේවිකාවක්. වරෙක රූපවාහිනී අධ්‍යක්ෂකවරියක්. යම් කාලයකට මෙම චරිත තුළ ඇය ජීවත් වේ. බොහෝ අවස්ථාවලදී එම චරිත තුළ කළ කී දේවල් ඇයට අමතකය. ඇගේ ශීතකරණයේ තිබූ ආහාර පරිභෝජනය කළ බව ඇයට අමතකය. ඇගේ මුදල් පසුම්බියේ මුදල් වියදම් කළ බව ඇයට අමතකය. නයෝමි ඇගේ හොඳම යෙහෙළිය බව විටෙක අමතකය.
මෙම රෝගය ගැන තවදුරටත් අපි කරුණු විමසා බලමු.

දැඩි මානසික සහ ශාරීරික අපයෝජනයන්ට ගොදුරු වන දරුවන්ගේ මොළය තුළ ව්‍යූහාත්මක වෙනස්කම් පමණක් නොව රසායනික වෙනස්කම් ද සිදුවන බව සමීක්ෂණවලින් සොයාගෙන ඇත. එපමණක් නොව මනසේ ඒකාග්‍රතාවය ද, මතකය ද බිඳ වැටෙනවා. තමාට තමාගේ චරිතය තුළ තවදුරටත් ජීවත් වීමට නොහැකි වී තමාගේ ජීවිතයට වෙන චරිත ආරෑඪ කර ගැනීමටත් සිදු වෙනවා. මෙය සිදු වන්නේ උඩු සිතට (Super ego) ඇති වී තිබෙන කම්පනය, දැඩි ශාරීරික හෝ ලිංගික අපයෝජනය වැනි උඩු සිතට දරා ගැනීමට අපොහොසත් වූ තැනදී තමාගේ චරිතය වෙනත් චරිත බවට ආරෝපණය වී එම කම්පනය අවම කර ගැනීමයි. මෙය සිදුවන්නේ රෝගියාට නොදැනුවත්වම යටි සිත තුළ ඇතිවන මානසික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙය මනෝ විද්‍යාවේ විගමනය (Dissociation) ලෙස හඳුන්වයි.

අනන්‍යතාවය බිඳ වැටීම නැමති රෝගයේදී ද සිදුවනුයේ මේ හා සමාන මානසික ප්‍රතික්‍රියාවකි.

මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ

1. තමන් තුළ දෙදෙනකු වඩා අලුත් චරිත ජීවත් වන බව දැනීම.
2. නිතරම එදිනෙදා මතකයට ඇති වන බාධාවන් රෝගියාට දැනීම.
Ex: මෑතකදී ඇති වුණු සිද්ධියක් නැවත මතක් කර ගැනීමට නොහැකි වීම හෝ එයට දවස් හෝ මාස ගණනක් ගත වීම.
3. මෙම රෝගී තත්ත්වය බොහෝ විට ගැටවර වියේදී ආරම්භ වන අතර අවු. 40ට ප්‍රථමව දක්නට ලැබේ. කාන්තාවන් 9 දෙනකු ගත්විට පිරිමි එක් කෙනකුට මෙම රෝගය වැළඳේ.

කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *