ජීවිතය අවුල් කරන සැකය..මොකක්ද මේ සැකය…

අපි කවුරුන් තුළත් හැඟීම් තිබෙනවා. දුක, සතුට, බය, කෝපය, ඊර්ෂ්‍යාව ඒ වගේම සැකය. තම ජීවිත කාලය තුළ සැකය නැමති මේ මානසික තත්ත්වයට ගොදුරු නොවුණ කෙනෙක් නොසිටින්න පුළුවන්. ඕනෑම මිනිසෙකුට විවිධ අවස්ථාවන්හි ඇති විය හැකි මේ මනෝභාවය අසනීපයක් නෙමෙයි. නමුත් සැකය අසනීපයක් ලෙස මතුවෙන්න පුළුවන් බව අවබෝධ කරගැනීම අපේ ජීවිතයට ඉතාම වැදගත් වෙනවා. පළමුවෙන්ම අසනීපයක් ලෙස නොසැලකෙන සැක සහිත තත්ත්වයක් ගැන සත්‍ය කථාවක් ඇසුරෙන් සලකා බලමු.
නිමල් සහ හර්ෂණී විවාහ වෙලා අවු. 4ක් වෙනවා. නිමල් වැඩ කළේ බැංකුවක විධායක නිලධාරියෙක් ලෙස. හර්ෂණී ඉතා සාර්ථක ගෘහණියක් ලෙස නිමල්ගේ සහ ගේ දොර වැඩ කටයුතු කරගෙන සතුටින් කාලය ගත කළා.
මෙසේ යන විට එක් දිනක් නිමල්ගේ phone එක බලන විට අපූරු කෙටි පණිවිඩයක් තිබුණේ මෙන්න මෙහෙමයි.
නිමල් මට ඔයාව අද meet වෙන්න ඕනේ. මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කථා කරන්න. මේ පණිවිඩය දුටු හර්ෂණී අතිශයින් කලබලයට පත් වුණා. විශාල කෝපයකට සහ දුකකට පත් වුණා. මොකද මේ පණිවිඩය ලැබිලා තිබුණේ නිමල් සමඟම බැංකුවේ වැඩ කරන තමත් තරුණියකගෙන්. මේ තරුණිය නිමල්ගේ හොඳ යෙහෙළියක්. නිමල් කොතරම් උතසාහ කළත් එම තරැණිය සමඟ සම්බන්ධතාවයක් නැහැ කියලා කියන්න සාර්ථක වුණේ නෑ. මොකද හර්ෂණී එය පිළිගත්තේ නෑ.
ඉහත කථාවේ හර්ෂණීට කිසිම මානසික රෝගයක් නැහැ. නමුත් ඇයගේ මනස සැකය සහ කෝපය සමඟ අවුල් වී තිබුණා. ඇය සහ නිමල් මනෝ උපදේශනයට යොමු වුණා. උපදේශනයේදී ජීවිතයට එන ගැටලුවක් විසඳා ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික දැනුම ඇයට ලබා දුන්නා. විවෘතව ප්‍රශ්නයක් දෙස බැලීමට (open mind) දෙදෙනාගේම මනස හුරු කළා. දැන් හර්ෂණී සතුටින් සිටිනවා. ඔවුන්ගේ ප්‍රශ්නය එතැනින් කෙළවර වුණා.
දැන් බලමු අසනීපයක් හැටියට සැලකිය යුතු සැකය ඇති වෙන අවස්ථා ගැන. සැකය නැමති මනෝභාවය සමහර මානසික රෝග සමඟ ඇති විය හැකියි. මෙම රෝග තත්ත්වයන් පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ඒවාට ගොදුරු වුණු මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගැනීමෙන් බොහෝවිට මෙම රෝග සුවකර ගත හැකි වෙනවා. පවුල් සංස්ථාව බිඳ වැටීම වැළැක්වීමටත් උපකාරී වෙනවා. මෙම රෝගවල ප්‍රධානම ලක්ෂණය බොහෝවිට සැකය වීමට පුළුවන්. අපි මෙම රෝග මොනවද කියලා බලමු.
 මායාකාරී රෝගය (Delusional Disorder)
 භින්නෝන්මාදය (Schizophrenia)
 මත්පැන් සමඟ ඇතිවන සැකය (Othello Syndrome)
මායාකාරී රෝගයේ (Delusional Disorder) ප්‍රධානම ලක්ෂණය එහිදී ඇතිවන මායාකාරී සිතුවිලිය (Delusional Thought). මායාකාරී සිතුවිල්ලක් යනුවෙන් අදහස් වන්නේ යමෙකු තුළ ඇතිවන තදබල වැරදි විශ්වාසයකි. මෙම විශ්වාසය පවුලේ හෝ අනිත් අය නොපිළිගන්නා අතර රෝගියාට එය වැරදි බව ඒත්තු ගැන්වීම ලේසි කාර්යයක් නොවේ. මෙවැනි රෝගියකු සාමාන්‍ය ජීවිතයක් ගත කරන අතර එම විශ්වාසයට මනස ගොදුරු වූ කාලය තුළ පමණක් අසාමාන්‍ය චර්යාවක් පෙන්වයි. පහත සඳහන් ස්වර්ණාගේ කතාවෙන් අපි මෙය පැහැදිලි කරගනිමු.
ස්වර්ණාගේ වයස අවු. 55යි. ඇගේ සැමියා මියගොස් අවු. 5කි. ඇය ජීවත් වූයේ තම දුව සමඟයි. ස්වර්ණාගේ ගැටලුව ගැන ඇගේ දුව මෙසේ පැවසුවා.
මගේ අම්මාගේ හැසිරීම වෙනස් වෙලා දැන් අවු. 2ක් වෙනවා. ඇය කියනවා අල්ලපු ගෙදර අය ඇය පිස්සු වට්ටන්න plan කරනවා කියලා. ඉතින් ඇය කියන්නේ රූට මේ අය එකතු වෙලා ඇසිඩ් ගහනවා කියලා. රෑ වෙනකොට ඇගේ මූණ වෙනස් වෙනවා. අපිට පේන්නෙත් ඇගේ මූණ ඉදිමිලා වගේ. ඒ වෙලාවට ඇය යකෙක් වගේ කෑගහලා වටේ මිනිස්සුන්ට බනිනනවා. ඇත්තටම කියනවානම් අවට ගෙවල්වල අය කවුරුවත්ම අපිත් එක්ක අමනාපයක් නෑ. අපි මුලදි හිතුවේ අම්මාට භූතයෙක් වැහිලා කියලා. රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කරලා ලොකු ශාන්තිකර්මයක් කළා. ඒත් කිසිම ගුණයක් නෑ. අන්තිමට අපි කොට්ටාවේ ගෙදර විකුණලා බොරලැස්ගමුවට ආවා. ඒත් අම්මා දැන් කියන්නේ මේ ගෙදර අවට ඉන්න අයත් අම්මාව පිස්සු වට්ටන්න නොයෙකුත් දේ කරනවා කියලයි.
ස්වර්ණා ගොදුරු වී ඇත්තේ තදබල මායාකාරී රෝගයකටය. මෙය මනෝ වෛද්‍ය විද්‍යාවේ සයිකෝසියාව යටතේ වර්ග කරන රෝගයකි. මෙම රෝගය ඇති වනුයේ භූතයකු නිසා නොව මොළයේ ඇති වන රසායනික සංයුතියේ වෙනසක් නිසාය. ප්‍රතිකාර සහ උපදේශනය සමඟ දැන් ස්වර්ණා ක්‍රමක්‍රමයෙන් සුව අතට පත් වෙමින් තිබේ.
සැකය ඇතිවන තවත් ප්‍රබල මානසික රෝගයකි භින්නෝන්මාදය. මෙය ප්‍රබල ලෙස ජානවලින් සම්ප්‍රේෂණය වන රෝගයකි. අපි සම ජාතීය නිවුන්නු ගනිමු. ඉන් එක් අයකුට මෙය වැළඳුණොත් අනෙකාට එය වැළඳීමේ ප්‍රවණතාව 50%කි. අම්මා සහ තාත්තා යන දෙදෙනාටම මෙය වැළඳී තිබේනම් දරුවාට  වැළඳීමේ හැකියාව 46%කි. දෙමාපියන්ගෙන් එක් අයකුට මෙම තත්ත්වය තිබේනම් දරුවාට වැළඳීමේ ප්‍රවණතාව 14%කි. ජනගහනයෙන් 1%කට මෙම රෝගය තිබෙන බව විශේෂඥයන්ගේ මතයයි. භින්නෝන්මාදය සමඟ සැකය ඇතිවන අයුරු අපි බලමු.
මේනකාගේ වයස අවු.35යි. ඇයට දූවරු දෙදෙනෙක් ද සිටිනවා. මේනකාගේ සැමියා පෞද්ගලික ආයතනයක ලිපිකරුවකු ලෙස සේවය කරනවා. මේනකා ඇගේ ගැටලු මෙසේ පැවසුවා.
මට මගේ husband ගැන ලොකු සැකයක් තියෙනවා. ඔහු අපේ ගෙදර කැමරා සවි කරලා මම ගෙදර ඉඳන් කරන දේවල් බලාගෙන ඉන්නවා. මට ඒක හරිම වදයක්. මේ නිසා මට ගෙදර වැඩ කරගන්නත් බෑ. අනිත් එක තමයි ගෙදර TV එක. TV එකේ ප්‍රවෘත්ති බලනකොට මට දැනෙනවා ඒ කියන්නේ මම ගැන කියලා. මම දැන් TV බලන්නේම නෑ. මට කිසිම දෙයක් මගේ කියලා හිතන්න බෑ. මම හිතන දේවල් අවට ගෙවල්වල ඉන්න අයට තේරෙනවා කියලා මට දැනෙනවා. ඉස්සරහා ගෙදර මනුස්සයානම් මාත් එක්ක හොඳටම තරහයි. ඒ ගෙදර ඉන්න මිනිහයි ගෑනියි දෙන්නම මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ඔවුන් හදන්නේ මාව දරුවන්ගෙන් ඈත් කරන්න.
ඉහත කතාවෙන් පේන්නේ භින්නෝන්මාදය නැමති රෝගය තුළ ඇති වන සැකයයි. මෙහි එන මේනකා අප සායනයට යොමු වූයේ රෝගය ඇති වී අවු. 2කට පසු හොඳටම උත්සන්න වූ අවස්ථාවේදීය. ඇගේ සැමියා මුලදී මෙය මානසික රෝගයක් ලෙස නොසැලකුවාය. ඇයට භූත ආත්මයක් වැහිලා ඇතැයි ඔහු සිතුවේය. නොයෙකුත් ශාන්තිකර්මවලට විශාල මුදලක් ද ඔහු වැය කර තිබුණි. දැනට අප සායනයෙන් ප්‍රතිකාර ගන්න මේනකා 70% පමණ මෙම රෝගී තත්ත්වයෙන් සුව වී සාමාන්‍ය ජීවිතයකට ළං වී ඇත.
මත්පැන් සහ සැකය^ මේ අතර තියන්නේ අපූරු සම්බන්ධතාවයක්. මත්පැන් දිගටම ගන්නා පුද්ගලයකුට තමාගේ භාර්යාව පිළිබඳ අවිශ්වාසයක් හෝ සැකයක් නිර්මාණය වෙන්න පුළුවන්. බොහෝ අවස්ථාවලදී මෙම සැකය සමාජය විසින් භාර්යාව හෙවත් එම කාන්තාව වෙත පැටවීම දකින්නට පුළුවන්. මත්පැන් දිගටම ගන්නා පුද්ගලයකුට සැකය ඇතිවීමට ප්‍රධාන හේතු කීපයක්ම තියෙනවා.
 දිගටම මත්පැන් ගන්නා විට ඇතිවන ලිංගික බෙලහීනතාවය. මෙම බෙලහීනතාවය සමඟ ඔහුගේ ඇති නොහැකියාව සූක්ෂම ලෙස භාර්යාවගේ වරදක් ලෙස දැකීම.
 සැමියා මත්පැන් ගැනීම සමඟ ඇතිවන හැසිරීම් රටාව ද සමඟ බිරිඳට සැමියාව එපා වීම. මෙහිදී බිරිඳ බොහෝ විට සැමියා සමඟ ලිංගිකව එකතු වීමට ද කැමැත්තක් නොදක්වයි. මේ හේතුව නිසා ද මත්පැන්වලට ඇබ්බැහි වූ පුද්ගලයකු බිරිඳ ගැන සැකකිරීමට පටන් ගනී.
මත්පැන්වලට ගොදුරු වූ මෙවැනි රෝගියකු මනෝ වෛද්‍යවරයකු වෙත හැකි ඉක්මණින්ම යොමු කළ යුතුය. එසේ නොවුණහොත් පවුලට බිරිඳට හා දරුවන්ට විය හැකි හානිය ඇති විශාලය. සැකය, ප්‍රචණ්ඩත්වය හා මිනී මැරැම්වලින් ද කෙළවර විය හැකිය.
සැකය නැමති මනෝභාවය මෝහනයෙන් සනීප කළ නොහැකි බව ද ඔබ මතක තබා ගත යුතුය. මොළය තුළ ඇති වන අති සංකීර්ණ රසායනික විපර්යාසයක් මෙයට හේතු වේ. බුද්ධිමත් ඔබ මෙවැනි රෝගියකු මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට අමතක නොකරන්න.
කිරිබත්ගොඩ මූලික රෝහලේ
මනෝ වෛද්‍ය නයනානන්ද කුමාරනායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *