පළාත් සභා හයේ ඡන්දය පක්ෂ 4ක කඹ ඇදිල්ලෙන් ඡන්දය කල් යයි?

මේ වනවිට විසිරී තිබෙන පළාත් සභා 3ක සහ ඉදිරියේදී විසිරෙන පළාත් සභා තුනක් ද ඇතුළුව පළාත් සභා හයක මැතිවරණ දෙසැම්බරයේ පවත්වන්නට තීන්දු වුවද ඡන්ද ක්‍රමය සම්බන්ධව ප්‍රධාන පක්ෂ අතර හටගෙන ඇති ප්‍රබල ගැටුමක් නිසා අලුත් අර්බුදයක් මතු වී තිබේ.

ප්‍රධාන පෙළේ මුස්ලිම් ජාතික පක්ෂ දෙකක නායකයන් වන රවුෆ් හකීම් හා රිෂාඩ් බදුයුදීන් යන මහත්වරුන් පැරණි ඡන්ද ක්‍රමය අවශ්‍ය බව කතා නායකවරයා මගින් රජයට දන්වා ඇත. ශ්‍රී.ල.නි.ප සහ ජනතා විමුක්ති පෙරමුණ අලුත් ඡන්ද ක්‍රමය ඉල්ලා සිටීම නිසා මෙම අවුල හටගෙන තිබෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. තවමත් ඒ ගැන අවසාන තීන්දුවක් ගෙන නැත.

කෙසේ හෝ පළාත් සභා මැතිවරණ ක්‍රියාවලිය ගැන මූලික තීන්දු ගැනීමට කතා නායකවරයා විසින් ළඟදීම පක්ෂ නායක සාකච්ඡාවක් කැඳවීමට නියමිතය. එසේම මේ ගැන මැතිසබය කල් තැබීමේ විවාදයක් පවත්වා ඒ ඒ පක්ෂවලින් ඉදිරිපත් වන මතවාදයන්ද සලකා බැලීමට තීන්දු කර ඇත.

පසුගියදා මේ ගැන මැතිවරණ කොමිසම හා පිළිගත් පක්ෂ ලේකම්වරයාත් අතර සාකච්ඡාවක් පැවති අතර එහිදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර ඇත්තේ තවදුරටත් විවිධ හේතු දක්වා ඡන්ද කල් දමන්නට ගියහොත් මැතිවරණ කොමිසම රජය නොසිතන දැඩි පියවරකට යන බවයි. ඒ හේතුවෙන් තමන්ට මෙම සභාපති ධූරය අහිමි වුවහොත් තම ගම් ප්‍රදේශය වන අම්බලන්ගොඩට ගොස් කඩයක් දමාගෙන හෝ ජීවත් වීමට පුළුවන් බව මහින්ද දේශප්‍රිය මහතා පක්ෂ ලේකම්වරුන් හමුවේ ප්‍රකාශ කළේය.

මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයකු වන රත්න ජීවන් හූල් මහතා ද මෙහිදී ඡන්ද කල් දැමීම ගැන දැඩි ලෙස තමන්ගේ විරෝධය පළ කර තිබිණි. ඡන්දය කල් දැමීමට එරෙහිව සටන් කළ යුතු යැයි ඔහු ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *