මට හැමදාම ලැබුණෙ දඟකාර චරිත – වත්සලා දියලගොඩ

වත්සලා දියලගොඩ, කියනවාටත් වඩා ඇය මුතුකිරිල්ලී ලෙස හැඳින්වීම වඩාත් හොඳය. ඇය ගැන තවමත් බොහෝ ටෙලි නාට්‍ය පේ‍්‍රක්ෂකයින් දන්නේ ඒ නමින්ය. වසර ගණනාවකට පෙරදී මුතුකිරිල්ලී හැඩ කළ වත්සලා ක්ෂේත‍්‍රයට පැමිණියේ සෙනෙහසට ආදරෙයි ටෙලි මාලාව සමගය.

ඉනික්බිතිව මුතුකිරිල්ලීගෙන් පසුව අමා, සඳා, වාසනාවේවා, අංගනා, දූවරු නෙතූ ඇතුළු නාට්‍ය ගොන්නක රඟපෑ වත්සලා විවාහයෙන් පසුව කාලයක් නිහඬව සිට ගිය වසරේදී යළිත් කරළියට පැමිණියාය. ශාන්ත සොයිසාගේ නෙතූ නාට්‍යයේ ත‍්‍රිලක්ෂි වූ වත්සලා මේ දින වල ආලින්දයට පැමිණෙන්නේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන ශාන්ත සොයිසාගේ මිතු සමගය.

වත්සලා හිටි හැටියෙ පෙනෙන්නට ඉන්නවා ආයෙමත් දකින්නට නැහැ මොකද මේ?

ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයට ආ දවසේ ඉඳලාම මම ගොඩ බදාගෙන කළේ නැහැ.

එකක රඟපාන අතරේ තව එකක රඟපාන්න ගියේ නැහැ. ඉන්පසුව පුද්ගලික ජීවිතේ වැඩ එක්ක කාර්ය බහුල වුණා. නාට්‍ය කීපයක් එකවර බාරගෙන කටයුතු කළා නම් මට පුද්ගලික ජීවිතය සමබර කර ගන්න බැරි වෙනවා.

දැන් කොහොමද පුද්ගලික ජීවිතේ විස්තර?

විවාහ වෙලා ලබන වසරට අවුරුදු 10 යි. දියණියක් සිටිනවා. ඇයගේ වයස අවුරුදු 4 1/2 යි. මම කලා ජීවිතේ ආපු ගමන හෙමින්. ඒ නිසා පුද්ගලික ජීවිතේ අතපසු වෙලා නැහැ. කලාවේ තවම රැුඳී සිටිමින් එක ලෙස කටයුතු කරන්න ලැබීම නිසා ගෙවූ ජීවිතය ගැන සතුටු වෙනවා. හෙමින් ආ ගමන මේ සියල්ලට සාර්ථක හේතුවක් වුණා.

විවාහ ජීවිතේ ගැන කිව්වොත්

ජීවිතේ කියන්නේ නිතරම සුන්දර දෙයක් නොවෙයි. එකිනෙකා අතරේ වූ අනවබෝධය නුරුස්නා ගති ඒ වගේ යම් යම් අවස්ථා තියෙනවා. නමුත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන බව කියන්න පුළුවනි. පොඩි පොඩි දේ හමුවේ ඒවා ලොකු ලොකු දේ නොකරගෙන ජීවිතය වටහා ගන්න උත්සාහ ගන්නවා. මම විවාහ වුණේ හරිම තරුණ වයසේදීයි. තව කාලයක් හිටියා නම් හොඳයි කියලත් හිතුවා. ඒත් සුදුසු සහකරු හමු වූ පසු ඒ තීරණය වැරදි වෙන්නේ නැහැ. මට ඒ ගන්න තීරණය වැරදුණේ නැහැ. මම විවාහ වුණේ 21 දී. ඉතින් ජීවිතය හොඳයි.

ආයෙත් රඟපාන්න හිතුවෙ?

ගිය වසරේදී ශාන්ත සොයියාසේ නෙතූ නාට්‍යයේ රඟපෑවා. පසුව මේ අවුරුද්දෙදි නැවතත් ඔහුගේම අධ්‍යක්ෂණය යටතේ මිතූ නාට්‍යයෙ රඟපෑමට ඇරයුම් ලැබුණා. දැන් බබා ටිකක් ලොකු නිසාත් අතිශය කාර්ය බහුල නැති නිසා එයින් ප‍්‍රයෝජන ගන්න හිතාගෙන මේ නාට්‍යයේ සෙව්මිණි චරිතය බාර ගත්තා. ඒ චරිතය ටිකක් වෙනස්. ටිකක් දඟකාර චරිතයක්. හැබැයි ඉතින් පසුගිය චරිත දිහා බලපුවාම මට නිතරම වගේ ලැබුණෙ ඒ වගේ දඟකාර චරිත. දැන් ආසයි වෙනස් චරිතයක් රඟපාන්න අම්මා වගේ චරිතයකටත් ආසයි.

ඉතින් අධ්‍යක්ෂවරුන්ගෙන් ඇහුවෙ නැද්ද ඇයි මේ විදියට එකම චරිතයම ලැබෙන්නේ කියලා.

තවම මගේ පෙනුම තියෙන්නේ දඟකාරකමට කියලා කිව්වා. දඟකාර පෙම්වතිය තමයි.

සැබෑ ජීවිතයේදී මොන වගේ පෙම්වතියක්ද?

සැබෑ ජීවිතයේදී දැන් මම මවක් බිරිඳක් පෙම්වතියක නොවෙයි. හැබැයි මම ආදාරණීයම චරිතයක්. පෙම්වතියකව සිටියදීත් එහෙමයි. ආදරේ ගොඩාක් හොයන හොඳ බිරිඳක්. ඒ ආදරේදී මම හරි සංවේදි චරිතයක්.

ඇත්තම කියන්න සැමියා ප‍්‍රසංග ගුණසිංහ කැමති ඔබ කැමරාව ඉදිරියේ පෙම්වතියගේ චරිතය රඟපානවටද, නැත්නම් ගෙදර බිරිඳගේ චරිතය ගෙදරට වෙලා රඟපානවටද ?

ප‍්‍රසංග ඔය දෙකටම කැමතියි. මම රංගන ශිල්පිණියක්. ඉතින් මගේ ජීවිතය මට සමබර කර ගන්න ඕනැ. එයා මගේ විදිය ගැන දන්නවා. කලාවට මගේ ඇති කැමැත්ත ගැන දන්නවා. එයින් මා ලබන වින්දනය ගැනත් දන්නවා. හැබැයි බිරිඳක වෙතින් ඉටු විය යුතු දේ මඟ හැරලා මේ කිසි දෙයක් කරන්න මම කැමති නැහැ. හැබැයි මට තහංචි සමග වූ ප‍්‍රශ්න නැහැ.

දෙන්නගෙන් කවුද වැඩිපුර රණ්ඩු කරන්නේ?

ලොකු රණ්ඩු නැහැ. පොඩි පොඩි රණ්ඩු තමයි ඉතිං. අපේ ගෙදර අපි තුන්දෙනා විතරයිනෙ. ඉතින් රණ්ඩු කරන්න තරම් කට්ටියක් නැහැ. රණ්ඩු වෙන්නත් පිරිසක් ඉන්න එපායැ. පුංචි පුංචි හිත් රිදවීම් වෙනවා. එහෙම වුණාම ටික වෙලාවක් කතා නොකර ඉන්නවා හැබැයි ඉතින් මට කතා නොකර වැඩි වෙලාවක් ඉන්න බැහැ. ඒ හැරත් කතා කරන්න ඉන්නෙත් අපි තුන්දෙනා විතරයිනෙ.

ඇයි ප‍්‍රසංග වයිඞ් ඈන්ගල් එකේ මියුසික් වීඩියෝ නිෂ්පාදන වලට ඔයාව ගත්තේ නැත්තේ.

එයා කරන වෘත්තීය වැඩවලට මාව ගන්නේ නැහැ. එයා ඒ වැඬේ නියම වෘත්තිය විදියට කරන්න උත්සාහ ගන්නවා. සමහර විට මාව ගත්තාම එයාට ඒක කරදරයක් වෙන්න ඇති. වැරැුද්දක් කළොත් බිරිඳ නිසා බනින්නත් බැහැනෙ.

ඔබ එයාගේ නිර්මාණවලට ගන්න කියලා ඉල්ලීමක් නැද්ද?

ඉල්ලන්නේ නැහැ. මොකද නොලැබෙන බව දන්න නිසා අනෙක සැමියාගේ නිර්මාණ කටයුතු වලට සහ ව්‍යාපාරයේ කටයුතු වලට මම අත දාන්න යන්නේ නැහැ.

සටහන / ඡායාරූප – සඳුන් ගමගේ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *