‘‘කතරගම දෙවියන්ගේ හාස්කම් නිසා තමයි මම බේරුනේ‘‘ වෙඩි තියපු අයට මෛත්‍රී කරනවා..! කිරිවෙහෙර විහාරාධිපති හිමියන් මුල්වරට කියන කතාව…!

කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වුණා. කිරිවෙහෙර මහසෙන් දේවාලයේ කපුවා විසින් අදාල වෙඩි තැබීම සැළසුම් සහගත ලෙස ක්‍රයාත්මක කිරීමට කටයුතු කර තිබූ අතර පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය කර ගත්තා.

මේ අතර වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලත ප්‍රතිකාර ලබමින් සිටින කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් තමන් මුහුණ දුන් අත්දැකීම මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණා. තමන් වහන්සේ මේ වනවිට සුවපත් වෙමින් සිටින බවත්, තමන් වහන්සේට සෙත් පතා ආශිර්වාද බෝධි පූජාවන් තැබූ සියළු දෙනාටම කෘතඥ වන බවත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් උන්වහන්සේ අදාළ සිදුවීමට මුල් වූ කරුණු පිළිබඳව මෙලෙස පැහැදිළි කළා.

පිරිසක් කතරගම දෙවියෝ සිටියානම් මෙවැනි දේවල් වුණේ ඇයි කියා ප්‍රශ්න කළා. මට කියන්න අවශ්‍යයි. කතරගම දෙවියෝ ජීවමානව වැඩ සිටීමත්, කිරිවෙහෙර සෑ රඳුන්ගේ ඉමහත් වූ හාස්කම් මතත් තමයි මගේ දිවිය බේරුණේ. මගේ උදරයේ පැත්තකින් වැදුණු වෙඩි උණ්ඩ අනිත් පැත්තෙන් පිටවෙලා තිබුණා. මගේ ශරීරයේ ඉන්ද්‍රියන්වලට ගෑවී නොගෑවී වෙඩි උණ්ඩයේ කොටස් පිටවෙලා තිබුණා. කතරගම දෙවියන්ගේ හාස්කම් මත තමයි මම බේරුනේ.

කිරිවෙහෙර සෑ රඳුන් වෙත මේ රටේ පමණක් නොව විදේශ රටවල සැදැහැවතුන් මොන තරම් ගෞරවයක් දක්වනවාද කියලා මම දැන ගත්තා.

මහසෙන් දේවාලයේ සේවය කළ අය විවිධ අයුරින් වංචාකාරීව බැතිමතුන් රවට්ටමින් තමයි සේවය කරන්නෙ. මම ඒ දරුවන්ට නොගැලපෙන අයුරින් කටයුතු කරන්න එපා කියලා අවවාද කළා. ඒ නිසා වෙන්න ඇති ඒ අය මාව ඝාතනය කරන්න සැළසුම් කරන්න ඇත්තෙ.

කිරිවෙහෙර විහාරස්ථානයේ විශාල පිරිසක් සේවය කරනවා. මේ අය වැරදි හදාගෙන සේවය නොකිරීම නිසා මට සිදු වුණා මහසෙන් දේවාලයේ සේවය කළ අසේල ඇතුළු පිරිසක් තාවකාලිකව ඉවත් කරන්න. මම මාසයකට තමයි මොවුන් ඉවත් කළේ. පසුව සේවය ලබාදීමේ අරමුණ ඇතිව. නමුත් ඒ දරුවන් කුමන හෝ පිරිසක් විසින් නොමග යවා මට නඩු දැමුවා. පසුව රටේ පවතින දේවාල ආඥාගම් පනත අනුව විහාරාධිපතී වහන්සේට ඇති අයිතිය අනුව මට පක්ෂව තීන්දුව ලැබුණා. මෙම පිරිසට නඩුවෙන් වාසියක් නොලැබුණු නිසා මට මේ දේ කරන්න ඇති.

බුදුන් දවසෙත් දේවදත්තලා හිටියා. මම වගේ භික්ෂුවකට මෙවැනි දේවල් සිදුවීම පිළිබඳව මම කනගාටු වෙන්නේ නැහැ. ඝාතනය කරන්න ආපු කීපදෙනාට මම මෛත්‍රී කරනවා. මගේ ජීවිතය බේරා දීමට ක්‍රියා කළ වෛද්‍යවරුන් ඇතුළු සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *