“තාත්තා මුහුදු ගිහින් පුහුණු වෙන්න සල්ලි දෙන්නේ” අඩුපාඩු දහසක් මැද ජපානයම හඬවා ලංකාවට රන් ගෙනා අපේ ධීවර දියණියගේ කතාව!

ජපානයේ ජිෆූ නගරයේ පිහිටි නගරගාවා ක්‍රීඩාංගණය ඉකුත් 06 වැනි දින ක්‍රීඩා ලෝලීන්ගෙන් පිරී පැවතුණි. 18 වන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙල නැරඹීමට පැමිණි ජපන් ක්‍රීඩා ලෝලීන් ජපන් ධජ සිය දෑත් දරා ක්‍රීඩා පිටියේ පිරී ඉතිරි සිටියේ ඔවුන්ට නිසැක රන් පදක්කමක් වෙනුවෙන් ජය ඝෝෂා නැගීමටය.

ඒ ජපානය, චීනය, කොරියාව, ඉන්දියාව ඇතුළු රටවල් 45 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන මෙම ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 20 න් පහළ කාන්තා බාධක දිවීමේ අවසන් තරගය සදහා ය. මෙම ඉසව්වේ ප්‍රබල ජපන් ක්‍රීඩිකාව ජපානයට රන් පදක්කම් බලාපොරොත්තු ගෙන ගොස් තිබුනි.

මෙම ඉසව්වට මේ අය අතරින් ළාබාලම ක්‍රීඩිකාව වූයේ ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි. ඇය 17 වන වියේ පසු වේ. සෙසු අය 18 හා 19 වන වියේ පසුවන ක්‍රීඩිකාවෝය. කෙසඟ සිරුරකින් යුත් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව සෙසු ක්‍රීඩිකාවන් අතර පුංචි කෙල්ලකි.

තරගය අවසන් වූයේ කිසිවෙකුත් නොසිතු පරිදිය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අවම පහසුකම් සමග තරගයට පැමිණි කුඩා ක්‍රීඩිකාව සෙසු සෑම රටකම ක්‍රීඩිකාවන් අභිබවා ගොස් රන් පදක්කමක් දිනා ගත්තේ ක්‍රීඩාංගනය පිරි ඉතිරී සිටි රසිකයන් මවිත කරමින් ය. දුක්බර මගක් ඔස්සේ පැමිණ ආසියාව ජය ගත් ඇය පාරමී වසන්ති මාරිස්ටෙලා ය.

ධීවර පවුලක හැදි වැඩුනු පාරමී වසන්තිගේ පියා සහ සහෝදරයා නිරත වන්නේ ධීවර වෘත්තියේය. පාරමී වසන්ති ආසියාව ජය ගෙන මවුබිමට රන් පදක්කම් ගෙන එන්නේ එවැනි වටපිටාවක් තුලය. ඇයගේ පියා අන්තෝනි ටියුඩර්ය. මව නීටා මාග්‍රට්‌ය. දියණියගේ මෙම ජයග්‍රහණය පිළිබදව ඇයගේ පියා ආඩම්බරයෙන් මාධ්‍යයට පවසන්නේ මෙවැනි කතාවකි.

“මහත්තයෝ මේ කෙලී ඔහොම තමා ඉස්‌කෝලේ ඇරිලා ආවාම ඉස්‌කෝලේ නිවාඩු දිනවල මම එපා කිව්වත් දුවගෙන ඇවිල්ලා මට උදව් කරනවා. එහෙම කරලා ඉවර වෙලා. වෙරළ දිගේ එහාට මෙහාට දුවනවා. ඇත්තෙන්ම මේ වෙරළේ හැම වැලි කැටයක්‌ම ඔය කකුල්වලින් පෑගිලා ඇති”

සිය ජයග්‍රහණය පිළිබදව මාධ්‍යයට අදහස් දක්වන පාරමී,

“අපි ඉස්‌කෝලෙ ඇරිලා ආවම හවසට මුහුදු වෙරළේ තමා සෙල්ලම් කරන්නෙ. අක්‌කයි මමයි වෙරළේ තරගයට දුවනවා. අක්‌කත් මම ගිය ඉස්‌කොලේ තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ. එයත් 9 වසරේදී කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ගියා. අක්‌කත් ඉගෙනුමට මෙන්ම ක්‍රීඩාවටත් දක්‌ෂයි. අක්‌කාත් සමස්‌ත ලංකා ජයග්‍රහණ මෙන්ම රටවල් කීපයකම තරගවලට සහභාගීවෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. මම කුලියාපිටියේ මධ්‍ය විද්‍යාලයට ගියාට පස්‌සෙ ජනිත ජයසිංහ සර් මගේ ක්‍රීඩා දක්‍ෂකම් දැකලා මට ක්‍රීඩාව පැත්තෙන් හොඳ අනාගතයක්‌ තියෙනවා කියලා මගේ පුහුණුවීම් කටයුතු කළා. ඇත්තෙන්ම ජනිත සර් නිසා තමයි මේ ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණේ. අපේ තාත්තා තමයි මටයි අක්‌කටයි අවශ්‍ය හැම දේ සඳහාම වියදම් කරන්නෙ. එයා මුහුදු ගිහිල්ලා හම්බ කරන දෙයින් මගේ අනාගතයට යොදවනවා. ඇත්තෙන්ම සමහර දවස්‌වලට මූදු ගියාම මාළු නෑ. මට හරිම දුකයි තාත්තා ගැන මට තේරෙනවා එයාලා ණය වෙලා තමයි අපේ හැම දෙයක්‌ම කරන්නෙ. තාත්තා උත්සාහ කරනවා හැම තිස්‌සේම එයාගෙ ප්‍රශ්න අපිට නොපෙන්වා ඉන්න. අම්මා අනිත් හැම අඩුපාඩුවක්‌ම බලලා අපිව සතුටින් තියන්න උත්සාහ කරනවා. ඒත් මම දන්නවා එයාලා අපිට උගන්වන්න මේ ඉන්න ගේත් උකසට තියලා තියෙන්නෙ කියලා. මම කවදා හරි හොඳ තැනකට ඇවිල්ල මේ තියෙන පීඩනය නැති කරන්න උත්සාහ කරනවා.”

“ඇත්තෙන්ම මට මගේ ගමේ අයත් කලින් අධ්‍යාපනය ලැබූ පාසලේ අයත් කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයෙනුත් උදව් කළා. මම ඒ ගැන ස්‌තූති වන්ත වෙනවා. මම මේ ජයග්‍රහණ ලැබුවේ ගොඩක්‌ අගහිඟකම් මැද. මම ක්‍රීඩා කරන සපත්තු දෙක ඉරිලා. ඒක අරන් දුන්නෙත් රට ඉන්න මහත්තයෙක්‌. ඒත් මම සැලෙන්නෙ නෑ. කවදා හෝ මේ රටට ඔලිම්පික්‌ රන් පදක්‌කමක්‌ ලබාදෙන්න තමයි මගේ එකම බලාපොරොත්තුව.”

අද දින (02) සිට 06 දක්‌වා තායිලන්තයේ බැංකොක්‌ නුවර යොවුන් ඔලිම්පික්‌ ක්‍රීඩා උළෙලේ සුදුසුකම් ලැබීමේ තරගාවලියට පාරමී වසන්ති සහභාගි වීමට නියමිත අතර ලෝකයේ සියලුම රටවල් සහභාගිත්වයෙන් ආජන්ටිනාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 18 න් පහළ බාධක දිවීමේ තරගයට හා ජූලි මස 08 සිට 16 දක්‌වා පින්ලන්තයේ පැවැත්වීමට නියමිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීSඩා තරගාවලියට ද ඇය සහභාගිවීමට නියමිතය.

මවුබිම වෙනුවෙන් නෙත් ගොසිප් අපි පාරමී වසන්තිට අපගේ සුභාශිංශන එක් කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *