මාධ්‍යවේදිනිය තොරතුරු ගත්තේ CID එකෙන් කියලා මම කිවුවේ නෑ – රන්ජන් රාමනායක

“ද නිව්යෝර්ක් ටයිම්ස්” පුවත් පතේ මාධ්‍යෙව්දිනී මරියා අභිහබීබ් විසින් තොරතුරු ලබාගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළින් බවට තමා කිසිම අවස්ථාවකදී ප්‍රකාශ නොකල බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර දින කළ ප්‍රකාශය සහ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගේ ට්විටර් සටහන සම්බන්ධයෙන් අප නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා චයිනා හාබර් සමාගමට අයත් පෞද්ගලික බැංකු ගිණුමකින් අමෙරිකානු ඩොලර් මිලියන 7.6ක මුදලක් ලබාගෙන ඇති බව ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත පසුගිය 26 වැනිදා අනාවරණ කරනු ලැබීය.

ඉකුත් 29 වැනිදා පැවති මාධ්‍ය හමුවකදි නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සදහන් කළේ තමා අදාළ පුවත වාර්තා කළ මාධ්‍යෙව්දිනිය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි.

කෙසේ වෙතත් මෙම පුවත පළ කළ ‘ද නිව්යෝර්ක් ටයිම්ස් ‘පුවත් පතේ මාධ්‍යෙව්දිනිය ඊයේ සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කර තිබුණේ තමා නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සමඟ දුරකථනය ඔස්සේ පැවසූ දෙය ඔහු වෙනස් ආකාරයෙන් ප්‍රකාශ කර ඇති බවයි.

එසේම තම කර්තෘවරුන්ට හැර වෙනත් කිසිවකුට තම ප්‍රවෘත්තියේ තොරතුරු මූලාශ්‍ර ලබා නොදුන් බවද ඇය සිය ටිවිටර් ගිනුමේ සඳහන් කර තිබිණි.

ඒ අනුව රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මීට පෙර දින කළ ප්‍රකාශය සහ නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියගේ ට්විටර් සටහන සම්බන්ධයෙන් අප නැවතත් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ තමන් අදාළ මාධ්‍යවේදිනිය සමඟ සාකච්ඡා කළ බවත් අයට අමතරව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *