යාචකයෙකුගෙන් පොසොන් පෝයට මහා දන්සැලක්…! සතුන්ට කෑම දෙන්න දවසකට රුපියල් 1000 ට වඩා වියදම් කරනවා. පෙර කළ පවු ගෙවා ගන්න පිං කරන මාතර අප්පුහාමිගේ කතාව..!

මෙවර පොසොන් පොහොය වෙනුවෙන් අන් කව­දා­වත් නොමැති තර­මටම දන්සැල් රැසක් රටපුරා සංවිධානය කරලා තිබුණා. රටේ බොහෝ තැන්වල අඩියෙන් අඩියට දන්සල් ඉදිවෙද්දි අපිට සුපු­රුදු දන්සල් අතරේ විවිධත්වයෙන් යුතු දන්ස­ලුත් ඒ අතර තිබුණා. ඒ අතුරින් මාතර නග­රයේ පැවැත්වුනු රෝස් පාන්, වඩේ, රෝල්ස්, පැටිස්, සමෝසා එක්ක කෙසෙල් ගෙඩිවලින් සංග්‍රහ කරපු දන්සල රටේම කතාබහට ලක්වුනේ ඒ දන්සල පවත්වපු යාචක අප්පු­හාමි අයියා නිසා.

යාචකයෙක් දන්සලක් දුන්නා කිවුවම ඇතමුන්ට පුදුම හිතෙන්නත් පුළුවන්. කොහොම වුනත් මාතර නගරයේ බොහෝ දෙනා ඔහුට අප්පුහාමි අයියා ලෙස කතා කලත් ඔහු අවු­රුදු 74 ක් වූ මාතර නග­රයේ නිතර සැරිසරන ඉතාමත් අහිංසක යාචකයෙක්. හිසකේ පැසී වය­ස්ගත වුවත් පිංබර පෙනු­මක් සහිත ඔහු මාතර නග­ර­ය තුල සැරිසරමින් එදා වේල පිරිමසා ගන්නට පුරුදු වී සිටිනවා.

යාචක අප්පු­හා­මි විසින් මෙවර පොසොන් පොහොය දිනය නිමිති කරගනිමින් ලබාදුන් දන්සලට බොහෝ දෙනාගේ සහය ලැබුණද දන්සල සඳහා සියළු මුදල් අප්පුහාමි විසින් දැරීම විශේෂත්වයක්. දන්සල වෙනුවෙන් රෝස් පාන් 4500 ක් , කට්ලස් සහ රෝල්ස් 4500 ක් සකස් කර ඇති අතර ඒ සඳහා රුපියල් 30,000 පමණ මුදලක් වැය කර තිබෙනවා.

නැති බැරිකම වෙනුවෙන් සිඟකෑම කර්මාන්තයක් බවට පත්කරගෙන ඇති වකවානුවක මෙවැනි උතුම් ක්‍රියාවක් කල යාචක අප්පුහාමි තමන් සිදුකළ ක්‍රියාව ගැන කියන්නෙ මේ වගේ කතාවක්.

“මගේ ගම මතු­ගම. විවා­හ­යක් කර ගන්න මට ඕන වුණේ නැහැ. මගේ දේපළ ටික කලක් යද්දි සියල්ල නැති­වුණා. මේ නිසා මම පාරට වැටුණා. ඊට පස්සේ මට සිදු­වුණේ සිඟ­මනේ යදින්න. සිඟ­මනේ යෙදිලා මම පාරක් පාරක් ගානේ ගිහින් කීයක් හරි දව­ස­කට හොයා ගත්තා. ඒකෙන් තමයි ජීවි­තය ගැට ගහ ගත්තේ. මෙහෙම යද්දි මීට අවු­රුදු 12 කට විතර උඩදි මම මාතර නග­ර­යට ආවා. දවස තිස්සේ මාතර නග­රයේ හිඟ­මනේ යෙදිලා රෑට නවා­තැන් ගන්න දොඩ­ම්පොළ කඩ පේළි­යට එනවා. දින­පතා සිග­මන් යෙදී­මෙන් ලැබෙන මුදල් එකතු කර පරි­ස්සම් කර ගැනීම සඳහා මම අපේ රණ­තුංග මුද­ලා­ලිට භාර දෙනවා. අවශ්‍ය වුණ­හම ඉන් කොට­සක් මම විය­ද­මට ගෙන තවත් කොටසක් ඉතුරු කර­නවා‘‘

‘‘ලැබෙන මුද­ලින් තවත් කොට­සක් බඩ පිරෙන්න සත්තුන්ට කැම අර­ගෙන දෙනවා. ඒ එක්කම ඔට්ටුත් දානවා. ඔට්ටු වලින් දින්න­හම ඒ ලැබෙන මුද­ලුත් මුද­ලා­ලිට ගෙනත් දෙනවා. දැනට ලක්ෂ දෙක­කට ආසන්න මුද­ලක් ඔහු ළඟ තබා තියෙ­නවා. හැම­දාම මිනිස්සු මට සල්ලි දෙන නිසා මම හිතුවා මේ පෝයට මිනි­ස්සුන්ට මගෙන් කෑම වේලක් දෙන්න ඕන කියලා. බත් වේලක් දෙන්න මා ළඟ පහ­සු­කම් නැහැ. ඒ නිසා රෝස් පාන්, වඩේ, පැටිස්, රෝල්ස්, සමෝසා හා කෙසෙල් ගෙඩි දෙන්න තීර­ණය කළා..“

“මම අනිත් යාච­කයෝ වගේ නෙමේ. අනිත් හිඟන්නෝ දැක්ක­හම මිනිස්සු එළ­ව­නවා. ඒත් මට මේ ගමේ මිනිස්සු හරීම ආද­රෙයි. මේ පළා­තින් ඡන්දය ඉල්ලු­වත් මම දින­නවා. දව­ස­කට මම රුපි­යල් 1000කට වැඩිය සත්තුන්ට කෑම අර­ගෙන දෙනවා. මම හිඟ­න්නෙක්. එහෙම වුණේ මම පෙර භවයේ කළ පව­කට වෙන්නැති. ඒත් මේ මිනි­සත් භවය ලබන්න අපි ගොඩාක් පින් කරලා තියෙන්න ඕන. ඒ නිසා අපි හිග­ම­නෙන් ලැබෙන තුට්ටු දෙක හරි ගුලි කර­ගෙන ජීවත් වෙන්න හොඳ නැහැ. ලබන වතා­වේත් මේ වගේ දන්ස­ලක් දිලා මම පින් රැස් කර ගන්නවා.“

යාචක අප්පුහාමිට සහය ලබාදෙන මාතර සිල්ලර කඩේ රණ­තුංග ඔහු පිළිබඳව දක්වන්නේ මෙවැනි අදහසක්.

“මේ මනු­ස්සයා පුදුම කෙනෙක්. ගිය වෙසක් පෝය­ටත් මේ වගේ දන්ස­ලක් දුන්නා. අපි එයාට උදවු කළා. ඒත් සම්පූර්ණ විය­දම ඔහු­ගෙන්. මේ අප්පු­හාමි දවස තිස්සේ හිඟ­මනේ යනවා. ඒ ගිහින් ලැබෙන මුදල් විය­දම් කරන්නේ වටේ ඉන්න බල්ලෝ පූසන්ට කෑම දෙන්න. සාමාන්‍ය කෑම නෙමේ සත්තුන්ට දෙන්නේ. සම­හර වෙලා­වට කඩ­ව­ලින් කුකුල් මසුත් අර­ගෙන සතුන්ට කන්න දෙනවා. මේ නිසා යාචක අප්පු­හාමි හිඟ­මනේ යන්නේ සත්තු සිය­යක් විතර පිරි­වරා ගෙන.

ඒ වගේම ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට මේ කෙනා ඔට්ටු­වක් ඇල්ලුවා. ඒකෙන් එක් ලක්ෂ විසි­පන් දහ­සක් දිනුවා. ඒ වගේම හිඟ­මනේ යන අතරේ සාස්ත­රත් කිය­නවා. මේ හැම මුද­ලක්ම එයා ඉතුරු කෙරුවා. ඒ එක එක තැන්වල. මා ළඟත් මුදල් එකතු කළා. යාචක අප්පු­හා­මිට ඉන්න එක තැනක් නැහැ. කවු­රුත් සල­ක­නවා. කන් ඇහෙන්නේ නැහැ. ඒත් හොඳ ගුණ යහ­පත් කෙනෙක්….. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *