ලංකාවටම එකයි..! සත්තු හදලා බයිසිකල් වල බැඳගෙන යන හීනටියන ගමට විතරක් ආවේනික වූ පොසොන් පෙරහැර..!

ලෝකයේ විවිධ රටවල් වන සංස්කෘතීන්ට අදාලව ඔවුන්ටම ආවේනික වූ විවිධ ජන නාට්‍ය වර්ග පවතිනවා. ඒ අතර සත්ත්ව අනූරූ යොදා ගනිමින් රඟ දක්වන දකුණු ඉන්දියාවේ කච්චිගෝඩි නර්තනාංග, ජපානයේ කබුකි වැනි නර්තනාංග එම රටවල් වලටම ආවේනික වූ සංස්කෘතික හා ආධ්‍යාත්මික පැතිකඩක් නිරූපනය කරන අංග බවට පත්වී තිබෙනවා. මේ විදියට ලෝකයේ තියෙන සුවිශේෂී ජන නාට්‍ය සම්ප්‍රධායන් ගැන කතා කරද්දි ලංකාවටම ආවේනික වූ පෙරහැරක් ගැන තොරතුරු ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයෙන් වාර්තා වුනා.

සත්ත්ව අනූරූ පමණක් යොදා ගනිමින් ලංකාවේ දිවා කාලයේ පවත්වන මේ පෙරහැරේදී අඹන ලද සත්ත්ව රූප බයිසිකල්වල බැඳගෙන යාම සිද්ධ වෙනවා. දකුණින් සංක්‍රමණය වූ ජන කොට්ඨාසයකට අයත් ජනතාව වෙසෙන හීනටියන ගම්මානයේ තවත් කුඩා ගම්මාන 07 ක් පවතිනවා. මහගම, ගුරුගම, මෝලගොඩැල්ල, නුගේගොඩැල්ල, ධම්මාලෝක ගම, උඩවල, ගෝණමඩිත්ත ජනපදය එම ගම්මාන වන අතර හීනටියන පොත්ගුල් විහාරය මූලික කර ගනිමින් මෙම පෙරහැර ක්‍රියාත්මක වනවා.

හීනටිගලට පමණක්ම ආවේනික වූ මෙම පෙරහැරේ ඉතිහාසය සම්බන්ධයෙන් හීනටියන පොත්ගුල් විහාරයේ විහාරාධිපති හීනටියන නන්දතිස්ස හිමියන් අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

“හීනටියන ධම්මාලෝක ස්වාමින් වහන්සේ මුල්වෙලා තමයි මේ පෙරහර මුලින් ම පටන් ගත්තේ මල් පෙරහරක් ලෙස. ඒ කාලේ පෙරහර ගියේ ගම වටේ. පස්සේ ඒ යන ප්‍රදේශය ක්‍රමයෙන් වැඩි වුණා. නායක ස්වාමීන් වහන්සේගෙන් පසුව මම පෙරහර කරන්න පටන් ගත්තා. පස්සේ පස්සේ මේ පෙරහරට තවත් අංග එකතු වුණා. ඒ තමයි ඔය සත්ත්ව රූප නිර්මාණය. කාලයක් පෙරහර නතර කරන්න අපට සිදුවුණා. ඒ පාලමේ වැඩ අවසන් කරන තුරු. කොහොම වුණත් මේ පෙරහර ගමේ ජනතාව අතර බැඳීමක් සහයෝගයක් මෙන්ම ගමයි, පන්සලයි අතර තද සම්බන්ධතාවක් ඇති කිරීමට සමත් වුණ‍ා.

එසේම විහාරස්ථානයේ දායක සභාවේ සභාපති ලෙස කටයුතු කරන එම්. පියදාස සිල්වා පවසන්නේ තමන් ගැටවර වියේදි මෙම පෙරහැර වෙනුවෙන් කළකී දෑ මෙලෙස ප්‍රකාශ කළා.

“ඉස්සෙල්ල ම තිබුණේ මල් පෙරහර. ඒ පාපැදිවල අතුවල එල්ලලා මල් අතු හදනවා. එහෙම නැත්නම් පොල් අත්තේ මල් එල්ලනවා. ඔහොම කරමින් ඉන්න කාලෙක තමයි මට හිතුණේ සතෙක් හදන්න ඕන කියලා. මට මතක හැටියට 1962 අවුරුද්දේ මම පොසොන් පෙරහරට එරමිණියා වැල්වලින් ගැටගහලා වේවැල්වලින් සිංහයෙක් හැදුවා. ඒවා බයිසිකලේ බැඳලා තල්ලු කරගෙන පෙරහරේ ගියා. ඒකෙන් මම පුදුමාකාර විදිහේ ආස්වාදයක් ලැබුවා. ඉන් පස්සේ ගිරවෙක්, ගෝණෙක් වගේ සත්තු හැදුවා.”

මේ පෙරහැර වෙනුවෙන් හීනටියන ග්‍රාමයේ සෑම නිවසකම වගේ සත්ත්ව රූපයක් නිර්මාණය කරනු ලබනවා. ඔවුන් තමන් විසින් මෙම සත්ත්ව රූප නිර්මාණය කරන ආකාරය ගම්වාසීන් මෙලෙස පැහැදිලි කලා.

“පොළේ අල ලූනු විකුණන එක තමයි මම කරන්නේ. ඒ වුණත් පෙරහර කාලෙට මං මුල්තැන දෙන්නේ මේකට. මම හැම අවුරුද්දෙම අලුත් නිර්මාණයක් කරනවා. මෙවර මම නිර්මාණය කරන්නේ පිඹුරෙක් මොනරෙක්ව ගිලින අයුරු. මේකට රුපියල් පහළොස් දහසක් විතර වියදම් වේවි. සල්ලි වියදම් වුණාට වඩා සතුටක් මම මෙයින් ලබනවා.”

“හුඟක් නිර්මාණවල වැඩ ඉවර කරන්නේ පෙරහරට ඔන්න මෙන්න තියලා. මම වෙළෙඳාම කරන්නේ. නමුත් පෙ‍රහර කාලෙට මම සත්තු හදනවා. සමහරු මට සියලු ද්‍රව්‍ය ගෙනැල්ලා දීලා මහන්සියටත් ගෙවනවා. සමහරු නම් බඩු විතරයි ගේන්නේ. ඒත් මම කරලා දෙනවා. කවුරුත් ආසයිනේ මේ වැඩේට.” දැන් මම සත්තු කිහිප දෙනෙක් ම හදලා ඉවරයි.

ගම්මානවල අවටින් සොයා ගන්නා වේවැල්වලින් මේ සත්ව රූපවල සැකිල්ල බඳිනු ලබනවා. ඉන්පසු ඒ මත ගෝණි අලවා පාප්ප හා කඩදාසි අලවා අවසානයේ සත්ත්වයා අවශ්‍ය ලෙස වර්ණ ගන්වනු ලබනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *