සම්මානෙ ලැබුන එක ගැන සතුටුයි..! කරන්නම දෙයක් නැති තැන මම අඳේට කුඹුරක් කොටනවා..! තම ජීවිතය බිල්ලට දී ජීවිත 27 ක් බේරාගත් බස් රථ රියදුරුගේ පවුලේ සංවේදී කතාව…!

පසුගිය වසරේදී තම ජීවිතය බිල්ලට තබා මගීන් 27 කගේ ජීවිත බේරා ගත් හල්පේ,බෙලිහුල්ඔය ලිපිනයේ පදංචි එච්.එම් කීර්ති බණ්ඩාර පද්මසිරි නම් වූ බස් රථ රියදුරු මහතාට රටේම ගෞරවය හිමිවුනා. එවන් වූ වීරයින් ඇගයීමට ලක් කරමින් වීර පොදුජන පදනම විසින් සංවිධානය කරන ජාතික විරුජන සම්මාන උළලේදී එම බස් රථ රියදුරාද ඇගයීමට ලක්කරමින් රන් පදක්කමක් පිරිනැමීමට කටයුතු යොදා තිබුණා.

බණ්ඩාරවෙල ඩිපෝවේ බස්රථ රියදුරෙකු ලෙස සේවය කළ කීර්ති බණ්ඩාර 2017 ඔක්තෝම්බර් මස 01 වනදා බණ්ඩාරවෙල සිට තම ගම්මානය වන කොස්ගම දක්වා බස් රිය ධාවනය කළේ මගීන් 27 දෙනෙකුද සමඟයි. කොළඹ බදුල්ල මාර්ගය ඔස්සේ හපුතලේ බෙරගල කන්ද පසුකරන අවස්ථාවේදී විහාරගල ප්‍රදේශයේදී හදීසියේම බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නොවී ගොස් තිබුණා.

ඒත් සමඟ බස් රථය කන්දේ පහලට ඇදී ගියේ මගීන් 27 කගේ ජීවිතය අවධානමේ දමමින්. මොහොතක් හෝ පමා වූයේනම් බස් රථය අඩි 300 ක පමණ ප්‍රපාතයකට පෙරළී යන බව තේරුම් ගත් රියදුරු මහතා සිය ජීවිතය ගැනද නොසිතා බස් රථය අසල තිබූ ගල් ඇන්දක් දෙසට හරවා ගත්තා. බස් රථය ගල් ඇන්දේ ගැටී නතර වුවද රියදුරු මහතා බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්වුනා.

තම ජීවිතය බිල්ලට තබා ජීවිත 27 ක් බේරා ගත් එම රියදුරු මහතාගේ බිරිඳ වන ප්‍රියංකා විජය නිල්මිනී වෙත කථා නායක කරු ජයසූරිය විසින් එම සම්මානය පිළිගන්වා තිබුණා. කෙසේ නමුත් තම සැමියා වෙනුවෙන් ලබා දුන් එම සම්මානය ඇය අභිමානයෙන් පිළිගත්තද සැමියාගේ වියෝවෙන් පසු සිය පවුල මුහුණ දී ඇති කටුක ජීවිතය ගැන සංවේදී කතාවක් රියදුරු මහතාගේ නිවස සොයා ගිය අප මාධ්‍ය කණ්ඩායමට දැනගන්නට ලැබුණා.

මේ ඒ පිළිබඳ සටහනක්.

සරතැස නිවි සවස උදාවි තිබිණ කොළඹ,බදුල්ල මාර්ගයේ ඌව සබරගමු පළාත් වෙන්කරන මායිමේදි අපි අපේ වාහනය කොස්ගම මාර්ගයට හැරවූයෙමු .

මියගිය කීර්ති බණ්ඩාර මහතාගේ නිවසට පිහිටි ස්ථානය පිළිබදව මරංගහවෙල හන්දියේ සිටි වැඩිහිටි පුද්ගලයේකුගේ ඇසුවෙමු .

අපෝ… මහත්තයා ඔය පාරේ මේ වෙලාවේ යන්න එපා.අලි ඉන්නවා . ඔහු අපට අනතුරු හැගිවීමක් කලද එය නොසලකා අපි එම නිවස සොයා ගියෙමු .

නිවසේ සිටියේ 15 හැවිරිදි පුතා සහ 8 හැවිරිදි කුඩා දියණිය පමණි

අම්මා කුඹුරේ වැඩට ගියා දරුවෝ පැවසූහ.

නොබෝදා ගම්වැසියෙකු වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබුනේද මීට නුදුරින් බව දැනගන්නට ලැබිණ .

මදක් එම නිවසේ රැදි සිටියදී ප්‍රියංගිකා පැමිණයේ උදැල්ලක්ද අතේ ඇතිවය .

අනේ මහත්තයෝ කරන්නම දෙයක් නැති තැන මම අදේට කුඹුරක් කොටනවා ඇය කීවේ දෑස කදුලින් තෙත් කර ගනිමිනි

විරු ජන සම්මානයක් ලැබුන නේද ? අපි ඇසුවෙමු

මදක් නිහඩව සිට ඇය යළිත් කතා කළාය .

ඔව් විරුජන සම්මානයක් ලැබුණා .

ඉන්න මං අරන් එනකල් කියා කාමරයට ගිය ප්‍රියංගිකා රන් පැහැ පදක්කමක් ගෙනැවිත් පෙන්නුවාය .

සම්මානය ලැබුණ එක ගැන නම් සතුටුයි .

මොකද මහත්තයානැති උනේ 27 දෙනෙකුගේ ජීවිත බේරලා කවද හරි දවසක මේ දරු දෙන්නට මේක වටිනා ඒත් මටයි මගේ දරු දෙන්නටයි ජීවත් වෙන්න විදියක් නැහැ .

මගේ මහත්තයා නැතිවෙලා තුන්මාසේ දානේ දීලා දවස් කිහිපයකින් මහත්තයාගේ අම්මා මේ දුක ඉවසා ගන්න බැරිව මියගියා .

මහත්තයාගේ තාත්තා නැතිවෙලා අවුරුදු 2 යි . මගේ තාත්තා මේ සිද්ධියෙන් පස්සේ මානසික ලෙඩෙක් උනා . මගේ අම්මා වැලිගොඩ දානවා අම්මා පුළුවන් විදියට අපට උදව් කරනවා

සහෝදරයොත් පුළුවන් විදියට උදව් කරනවා ඒත් ඒගොල්ලන්ට හැමදාම එහෙම කරන්න බැහැ .

බැරිම තැන මම අඳේට කුඹුරක් අරන් කුඹුරු කොටනවා .

සතුන්ගෙන් වන හානි නිසා ඒකත් අමාරුයි .

මහත්තයා මේ ගේ හදන්න රුපියල් ලක්ෂ 9 ක බැංකු ණයක් අරගෙන තියෙනවා .

ලංගමෙන් ලැබුනේ ලක්ෂ පහමාරයි. ඒකෙන් ලක්ෂ 3ක් දරුවන්ගේ නමට මට ලැබුනේ . ලක්ෂ දෙකහමාරයි මට ලැබුනේ .

මං පුළුවන් විදියට මහත්තය ගත්තා බැංකු ණයත් ගෙවා ගෙන යනවා.

මට දරු දෙන්නට උගන්වාගෙන ජීවත්වෙන්න ක්‍රමයක් හදල දෙනවා නම් ඒ තමයි මහත්තයට වෙනුවෙන් කරන්න පුලුවන් ලොකුම උපහාරය කියල මම හිතනවා. යැයිද ඇය හැඩූ කදුලින් පැවසුවාය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *