‘හිරගෙදරදී ඇන්දේ ජම්පරයද? 2020 සහය කාටද? සන්ධ්‍යාට කිව්වේ මොනවද?’ ඥානසාර හිමි සියල්ල හෙළිකරයි!

ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් සිරගත කිරීම සමාජයේ ආන්දෝලනයට තුඩු දුන්නා. මේ අතර සිරගතව සිටි උන්වහන්සේ පිළිබදව සමාජයේ කතාබහක්ද ඇතිවූවා. මේ පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් ඥානසාර හිමියන් පිළිතුරු දී තිබුනා.

එම සංවාදය පහතින්,

ප්‍රශ්නය – අවසරයි අපේ හාමුදුරුවනේ…· මෙවර ඔබ වහන්සේට සිරගත වෙන්න සිදු වුණේ කීවැනි වතාවටද?

පිළිතුර – කලින් වතාවේ රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. මෙවර වැරැදිකරුවකු ලෙස නම්කරලා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක්‌ යටතේ හිරේ යෑව්වා. ඒ අනුව වාර දෙකයි.

ප්‍රශ්නය – ඔබවහන්සේ දඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරය වෙත වඩිනකොට එහි පරිසරය කෙබඳුද?

පිළිතුර – මට දඬුවම් නියම වී ඇති බව දැනගත් පසු බන්ධනාගාරය තුළ පූර්ව සූදානමක්‌ තිබූ බව එහි නිලධාරීන්ගේ කතාබහින් හැඟී ගියා. කිසි කරදරයක්‌, හිරිහැරයක්‌, අවහිරයක්‌ නොවන පරිද්දෙන් මට වැඩඉන්න පුළුවන් විදිහේ පරිසරය එහි සකසා තිබුණා. බන්ධනාගාර නිලධාරීන්ගේ කාකි ඇඳුමට යටින් ඉන්න හොඳ මනුස්‌සකම මේ සිදුවීමත් සමඟ මම දැක්‌කා. ඒ උදවිය වෙනුවෙන් කෘතවේදිත්වය මේ වේලාවේ පුද කරන්න කැමැතියි.

ප්‍රශ්නය – කිනම් සිර මැදිරියේද ඔබ වහන්සේ රඳවා සිටියේ…

පිළිතුර – ආර්. වාට්‌ටුවේ තමයි මම හිටියේ.

ප්‍රශ්නය – එහි පරිසරය කෙසේ වුණාද?

පිළිතුර – එතැන දීර්ඝ සිරදඬුවම් හා ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් සිටියා. ඔවුන් යහපත් කල් ක්‍රියාවෙන් බන්ධනාගාරය තුළ වැඩ කිරීමෙන් යම්කිසි ලෙස සිරකරුවන් අතර උසස්‌වීම් ලබපු අය කීවොත් නිවැරැදියි. ඒ අය ආගමික වත්පිළිවෙත් සම්පූර්ණ කරමින් බන්ධනාගාර පරිපාලනයත් සමඟ සම්බන්ධ වී කටයුතු කරන්නන් . ඒ උදවිය මාව ඉතාම හොඳින් බලා ගත්තා.

ප්‍රශ්නය – එම සිරකරුවන්ට ධර්ම දේශනා, භාවනා වැඩසටහන් කළ බවට සඳහන් වුණා.

පිළිතුර – ඔව්. ඔවුන් සමඟ ඒ අදාළ දේවල් සිදු කළා.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ඔබ වහන්සේ බන්ධනාගාරගත කළ පසු රටේ කතාබහ වූ දෙයක්‌ තමයි ඥනසාර හිමියන්ට ජම්පරය ඇන්දුවාද නැද්ද කියන කාරණය. ඇත්තටම ජම්පරය ඇන්දද?

පිළිතුර – වඩා වැදගත් වන්නේ ඇන්දේ කුමක්‌ද කියන එකට වඩා අද අපි මුහුණ දෙමින් ඉන්න අවාසනාවන්ත තත්ත්වය කුමක්‌ද කියන එකයි. මම නම් හිතෙන්නේ අපි තවම නිදහස්‌ ජාතියක්‌ නොවෙයි කියලයි. එක්‌දහස්‌ අටසිය හතළිස්‌ ගණන්වල තිබුණ ක්‍රමවේදයන්ම තමයි අදටත් පවතින්නේ. ඒ නීති කිසිවක්‌ බන්ධනාගාරය තුළ වෙනස්‌ වෙලා නැහැ. සුද්දො නීති හැදුවේ දෙවියන්ට වගකියන බයිබලයට අත තියලයි. ඒ දෙවියන්ට ඇති ඇල්මෙන්. එවැනි නීති පද්ධතියක්‌ බෞද්ධ රටකට කොතරම් දුරකට ගැළපෙනවා දැයි ප්‍රශ්නයක්‌. මට නම් තේරෙන්නෙම අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුවත්, බන්ධනාගාරයේ වැඩි දෙනෙක්‌ තවමත් වැඩ කරන්නේ මේ රට සුද්දගේ කොලනියක්‌ කියලා හිතාගෙනයි. මේක අපි වෙනස්‌ කළ යුතුයි.

ප්‍රශ්නය – හාමුදුරුවනේ ප්‍රශ්නයට අදාළව හරි උත්තරයක්‌ ලැබුණේ නැහැ.

පිළිතුර – බන්ධනාගාරයේ දී ඇඳුම පිළිබඳ ලොකු ගැටලුවක්‌ වුණේ නැහැ. ඒ අය ඒ අයගේ රාජකාරිය කළා. මම මගේ භිsක්‍ෂුත්වය ආරක්‌ෂා කරගෙන කටයුතු කළා.

ප්‍රශ්නය – ඔබ වහන්සේ අමුත්තන් බැහැ දකින්න වැඩියේ නැත්තේ ඇයි? එයට විශේෂ හේතුවක්‌ තිබුණද?

පිළිතුර – මම හිටපු පරිසරය, ඒ ලබපු අත්දැකීම ඒ විදිහටම විඳගන්න මට ඕන වුණා. ඉතින් මම ඒ ගත්ත තීන්දුව හොඳයි නිවැරැදියි කියලා හිතනවා. මොකද මාව බැහැදැකලා කතාබහ කරනවට වඩා අපේ අයට එළියේ කරන්න වැඩ කොටසක්‌ තිබුණා. ඒ නිසා තමයි රට තුළ මීට එරෙහිව විශාල පෙළගැස්‌මක්‌ ඇති වුණේ.

ප්‍රශ්නය – ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතාගේ බිරිඳට තර්ජනය කිරීමක්‌ සම්බන්ධයෙනුයි ඔබ වහන්සේට මෙම දඬුවම නියම වුණේ. සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය සමඟ එදා ඇති කරගත් ආරවුල මොකක්‌ද?

පිළිතුර – කාරණා කිහිපයක්‌ තිබෙනවා. අපේ රට සාමාන්‍යයෙන් ගොරකා දඩමස්‌ කරන රටක්‌. කුඩු පාන්කුඩු කරන රටක්‌. ගංජා දුම්කොළ කරන රටක්‌. නීතිය විකෘති කරන රටක්‌ මේක. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය මේ රටේ භික්‍ෂුත්වයට එරෙහිව මහා සම්ප්‍රදායට එරෙහිව, සංස්‌කෘතියට එරෙහිව හැසිරෙනවා. ඒ වගේම මේ රටේ දේශපාලකයෝ ගන්න නිගමන මේ රටට හා පුද්ගල චරිතවලට කොපමණ හානිකරද? මේ අය කියන තරමක්‌ කියන්නේ බොරු. එක්‌නැලිගොඩ සිදුවීම සම්බන්ධයෙන් නඩු නිමිත්තත් තවම යන නිසා ඒ ගැන වැඩිය කතා කරන්න හොඳ නැහැ. එක්‌නැලිගොඩගේ අභාවය හෝ අතුරුදන්වීම නිසා ඔහුගේ බිරිඳට හා ළමයින්ට දුකක්‌ වේදනාවක්‌ ඇතිවීම ඒ අයට සාධාරණයි. නමුත් මගේ මැදිහත්වීම තිබෙන්නේ එක්‌නැළිගොඩ සිද්ධිය භාවිතා කර රටේ බුද්ධි අංශ දුර්වල කිරීමට දෙමළ ඩයස්‌පෝරාව සමඟ එක්‌ව එන්.ජී.ඕ. නඩය ගෙන යන වැඩපිළිවෙළටයි. ඉතින් මේක පටලවගෙන අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය කරමින් ඉන්නවා මේ මොහොත වෙද්දි.

ප්‍රශ්නය – හොඳයි…. ඔබ වහන්සේ සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මියට බැණ වැදුණේ ඇයි?

පිළිතුර – සන්ධ්‍යා එක්‌නැලිගොඩ මහත්මිය, අපේ හමුදාව අවසන් යුද්ධයේ දී රසායනික අවි භාවිතා කළ බවට ජාත්‍යන්තරයට කියා තිබුණා. මේ පිළිබඳ එම්මානුවෙල් පියතුමා සමඟත් ඇය සාකච්ඡා කර තිබුණා. අප රටේ හමුදාව, යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට ගෙන යැම තෙක්‌ වූ වැඩපිළිවෙළේ කොටසක්‌ ලෙස තමයි මං මෙය දැක්‌කේ. එතකොට රණවිරුවන් කඳුළු පිරි දෑසින් උසාවියෙන් එළියට එනකොට අතට වැටුණු කඳුළුත් එක්‌ක මට ඇතිවුණු හැඟීම, ඒ වගේම ජාතික ආවේගය තමයි එදා පිටවුණේ. එහෙම කියලා මම එතුමියට මරණ තර්ජන කරන්නවත් වෙන දෙයක්‌ කරන්නවත් ගියේ නැහැ.

ප්‍රශ්නය – ඔබ වහන්සේ එතැනදී ඇයට මොනවද සඳහන් කළේ…

පිළිතුර – මම කිව්වේ ඔයාගේ මහත්තයා කොටියෙක්‌නෙ. ලෝකය වටේ ගිහිල්ලා රණවිරුවන්ට එරෙහිව කේළාම් කියන්න එපා. ඊට වඩා හොඳයි හිඟා කෑවනම් කියලයි මම කිව්වේ. එහෙම කිව්ව එක තමයි මේ වෙනස්‌ කරලා මරණ තර්ජන කළාය, සාපරාධී අඩන්තේට්‌ටම් කළාය කියලා බලහත්කාරකම් කළා කියලා නීතිපති එකෙන් හදලා එවලා තියෙන්නේ. මේ වගේ සිදුවීම්වලට මිනිසුන්ට දඬුවම් කරන්න ගියොත් මේ රටේ සෑම පාසලක්‌ම බන්ධනාගාරයක්‌ කරන්න වෙයි. සෑම පොල්ගසක්‌ම එල්ලුම් ගහක්‌ කරන්න වෙයි. මේක නිකන් කූඩැල්ලෝ වගේ එල්ලෙන්න එන වැඩක්‌. මෙම ප්‍රශ්නය අනවශ්‍ය මානයකට ගෙන ගොස්‌ තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල බලපෑම මත බටහිර සතුටු කිරීමට, නීතිය හරියටම ක්‍රියාත්මක වන බව පෙන්වීමට භික්‍ෂු දඩයම මේ දඩබල්ලන් විසින් හරියටම කරනවා.

ප්‍රශ්නය – 2020 ජනාධිපතිවරණයේ සහාය කාටද?

පිළිතුර – ඒ ගැන සාකච්ඡා කරමින් ඉන්නවා. බෞද්ධකම දඩමීමා කරගනිමින් භයානක ගනයේ අන්තවාදී මූලධර්මයන් ගොඩනැඟෙන්න ඉඩ දීලා තිබෙනවා. 2020 ජනාධිපති වෙන ඕනෑම කෙනෙක්‌ 1959, 2001-2002, 2008-2009 කාල වකවානු තුළ මේ රටේ සබුද්ධික කල්පනා කරපු දැන උගත් විදග්ධයන් විසින් සකස්‌ කරන ලද කොමිෂන් වාර්තාවල නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුයි. එසේ කරන ඔහු හෝ ඇය මේ රටේ නායකයා වේවි.

සංවාදය : සිරිමන්ත රත්නසේකර/ දිවයින

Leave a Reply

Your email address will not be published. Required fields are marked *