තලාවේ බැංකු කොල්ලය, අටකෝටි 70 ලක්ෂය ඉක්මවයි..

අනුරාධපුර – තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකු ශාඛාවකින් සොරා ගන්නා ලද රන් සහ මුදල් ප්‍රමාණය රුපියල් අටකෝටි 70 ලක්ෂය දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සොරා ගන්නා ලද රන් සහ මුදල්වල වටිනාකම තවමත් ගණනය කරමින් පවතින බවයි.

පසුගිය සති අන්තයේදී කිසියම් පිරිසක් එම රාජ්‍ය බැංකුවට ඇතුළු වී මුදල් සහ රන් ආභරණ කොල්ල කා ඇති බවටයි පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබුණේ.

සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

එහිදී රාජ්‍ය බැංකුවේ තිබූ සේප්පු තුනක් කපා එහි තිබූ රුපියල් කෝටි හතකට වැඩි වටිනා කමින් යුතු රන් ආභරණ කිලෝග්‍රෑම් 22.5ක් හා රුපියල් ලක්ෂ එකසිය හතක් (එක්කෝටී හත් ලක්ෂයක්) මෙලෙස සොරා ගෙනගොස් ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

බැංකු පරිශ්‍රයට එහි පිටුපස දොර කඩා ඇතුළුවූ කොල්ලකරුවන් එහි ආරක්ෂිතව තබා තිබූ අධි ආරක්ෂිත සේප්පු හතරෙන් තුනක් ගෑස් කටර් ආධාරයෙන් කපා ඇති බවටයි වැඩිදුර තොරතුරු අනාවරණ වී ඇත්තේ.

කොල්ලකරුවන් බැංකුවට අතුළු වී මුලින්ම පොලිසියට සම්බන්ධකර සවිකර තිබෙන ආරක්ෂක සංඥා පද්ධතිය (සයිරන් නලාව) ගලවා අනතුරුව ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා එහි දත්ත ගබඩාවන (ඩී.වී.ආර්) යන්ත්‍රයද රැගෙන ගොස් ඇතිබවයි පොලිසිය පවසන්නේ.

පොලිසිය පවසන්නේ මෙම බැංකු කොල්ලය අනුරාධපුර දිස්ත්‍රික්කයේ මුල්‍ය ආයතනයකින් කොල්ලකෑ වැඩිම මුදල බවයි.

කළමණකාරවරයා විසින් අද (02) උදෑසන බැංකු විවෘත කිරීමෙන් අනතුරුව එහි සේප්පු කපා මුදල් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව දැනගැනීමෙන් අනතුරුවයි තලාව පොලිසියට පැමිණිල්ල ඉදිරිපත්කර ඇත්තේ.

සැකකරුවන් පිරිස පසුගිය සෙනසුරාදා (30) දින බැංකු නිවාඩු බැවින් අළුයම එහි ඇතුළුවී පසුදින දක්වා පැය ගණනාවක් තිස්සේ සේප්පු ගෑස් කටරයෙන් කපා ඇති බවට සැකකරන බවයි පොලිසිය පවසන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *