ස්කොට්ලන්ත පොලිසියටත් වඩා දක්ෂ ඌවේ කොල්ලන්ට ස්විස් තරුණියන් කදුළු සලමින් ස්තූතිය පුද කරයි..

ජෙනිෆෙර් හැමිල්ටන් සහ ලින්සි හැමිල්ටන් යන ස්කොට්ලන්ත තරුණියන් දෙදෙනා පසුගිය සතියේ ශ්‍රි ලංකාව වෙත පැමිණියේ ශ්‍රි ලංකාවේ සුන්දරත්වය නරඹා, සති 2ක නිවාඩුවක් ගත කිරීමට ය. ඒ අනුව විදේශීය සංචාරකයින් අතර මහත් ප්‍රසිද්ධියක් උසුලන සොබාව සෞන්දර්යය අතින් ඉතා මනරම් ඇල්ල ප්‍රදේශයට ඔවුන් ගියේ පසුගිය ජුනි 15 දා සවස් වරුවේය. ජූනි 16 දින පෙරවරුවේ කුඩා ශ්‍රී පාදය (Mini Adams peak) නරඹා පෙ. ව. 11.30ට පමණ වන විට ඔවුන් Nine Arche (ආරුක්කු පාලම) වෙත ළඟා වුයේ මධ්‍යහ්න 12ට ඒ හරහා යන දුම්රිය නැරඹීම සඳහා ය. එදින සති අන්ත නිවාඩු දිනයක් වු බැවින් ප්‍රදේශය දෙස් විදෙස් සංචාරකයින්ගෙන් පිරී ගොස් තිබුණී. දුම්රිය නරඹා ඒ අසල ඡායාරූප කිහිපයක්ද ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා දුම්රිය මාර්ගය ඔස්සේම ඇල්ල කරා යාමට නික්මුණි.

ගතවුණේ මිනිත්තු කිහිපයකි. මාර්ගය හරහා මීටර 500 – 600ක් අතර දුරක් ගමන් කළ විට හමුවූ පාළු ප්‍රදේශය තුළදී එකවරම වයස අවු. 21-25 අතර තරුණයින් 5 දෙනකු පැමිණ ඔවුන් සමඟ යම් කතාවක් ඇතිකරගැනීමට උත්සාහයක් දරනු දක්නට ලැබුණි. නමූත් තරුණියන් දෙදෙනා එය මඟ හැර යන්නට උත්සාහ දරත්ම ක්‍රියාත්මක වූ තරුණයින් දෙදෙනෙක් ඔවුන් අත තිබූ ගමන් මලු උදුරා ගෙන දුවන්නට වූහ.

මේ සිද්ධිය වන අවස්ථාවේදී 12 දෙනකුගෙන් සමන්විත වූ තරුණ පිරිසක්ද සති අග නිවාඩුවේ ඇල්ල සිරි නැරඹීමට පැමිණ Nine Arche ප්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියහ. විදේශීය තරුණියන් දෙදෙනෙක් හදිස්සියේ දුවවිත්, කඳුළු සලමින්, මහත් කලබලයෙන් යුක්තව යමක් පෙන්වමින්, එහි සිටි පොලිස් නිලධාරියකුට යම් කිසි දෙයක් පැවසීමට උත්සාහ දරන බවක් එහි සිටි එක් තරුණයකුගේ නෙත ගැටුණි. භාෂාමය ගැටලුව නිසා ඔවුන් දෙදෙනා පවසන දෙය හරියාකාරව තේරුම් ගැනීමට නොහැකී වු අදාළ පොලිස් නිලධාරියා ඒ ගැන වැඩි තැකීමක් නොකරන බවක් ඔවුන්ට දිස්විණි. ගත වුයේ නිමේෂයකි. තරුණියන් දෙදෙනා සිද්ධිය පවසමින් එහි වු සියලු විදේශිකයින් දැනුවත් කරන්නට විය. ලැව් ගින්නක් සේ ශ්‍රී ලාංකීය නාමයට තද බල කළු පැල්ලමක් එක් කරමින් සිද්ධිය ව්‍යාප්ත වන්නට විය.

සිද්ධිය තේරුම් ගත් මෙම තරුණ පිරිස තම කණ්ඩායම කැටුව තමන්ගේ විනෝද ගමන අතරමඟ නවතා දමා, ශ්‍රී ලාංකීය නාමය රැක ගැනීම වෙනුවෙන් තරුණියන් දෙදෙනාට පිහිටවීමට ඉදිරිපත් විය. තරුණියන් දෙදෙනාට සාවධානව ඇහුම්කන් දී, සිදුවීම හොඳින් වටහා ගත් ඔවුන්ට සොරුන් පිළිබඳව ප්‍රබල සාක්ෂියක් සොයාගැනීමට හැකි විය. ඒ සොරුන් විසින් අදාළ ගමන් මලු පැහැර ගෙන දුවන විට ම එම තරුණියන් දෙදෙනාගෙන් එක් අයකු විසින් ඇය සතු වු කැමරාවෙන් ඔවුන්ගේ ඡායාරූපයක් ලබාගෙන තිබීමයි. ඉතා පැහැදිලිව ඒ සොරු කණ්ඩායමේ 3දෙනෙක් ඇඳ සිටි කමිස (T-shirt) හඳුනාගත හැකි මට්ටමක තිබිණි. ඒ අනුව නියමිත පරිදි පොලිස් නිලධාරීන්ද දැනුවත් කරමින් එම තරුණ පිරිස විසින් අදාළ විදේශිය තරුණියන් දෙදෙනා කැටුව සොරු ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ කරන ලදී. ඒ වන විට සිද්ධිය සිදුවී මිනිත්තු 20ක් පමණ ගතවී ඇත. ඔවුන් මුලින්ම කළේ අදාළ සිද්ධිය සිදුවු ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමයි. එහිදී එම ස්ථානයේ විසිවී තිබූ සුවඳ විලවුන් බෝතලයක්, විෂබීජ නාශක බෝතලයක් මුලින් සොයා ගැනීමට හැකිවිය. සොරුන් විසින් පැහැර ගන්නා අවස්ථාවේ ඔවුන්ගේ ගමන් මලු තුළ ශ්‍රී ලාංකීය මුදලින් රු. 60.000ක් පමණ මුදලක් ද, වටිනා Canon වර්ගයට අයත් කැමරාවක් ද තවත් වටිනා ලියකියවිලි කිහිපයක්ද තිබී ඇත. තරුණ පිරිස විසින් එහි වු කැලෑබද අතුරු මාර්ග පීරමින් කිසියම් සාක්ෂියක් සොයා ගැනීමට යුහුසුළු විය. එහිදී අතුරු මාර්ගයක වු නිවැසියෙක් මිනිත්තු කිහිපයකට කලින් තරුණයින් 5 දෙනෙකු කලබලයෙන් දිවයන අයුරු දැක තිබුණී. වහා ක්‍රියාත්මක වු ඔවුන් එම මාර්ගය ඔස්සේ ලුහු බඳින්නට විය.

300mක් පමණ යත්ම සොරුන් විසින් හැර දමා ගොස් තිබූ අදාළ විදේශීය තරුණියන්ගේ හිස් ගමන් මල්ල සොයා ගැනීමට හැකිවිය. අනතුරුව සමීපයේ පිහිටි කඩමණ්ඩියකට පිවිසි ඔවුහු ප්‍රදේශයේ තරුණයින් පිරිසට සිද්ධිය පැහැදිලි කර ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කළහ.

විශේෂයෙන්ම ඇල්ල ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරන් සියල්ලන්ම පාහේ මිනිත්තු කිහිපයක් ඇතුළත ක්‍රියාත්මක වෙමින් ප්‍රදේශයේ අතුරු මාර්ග පීරමින් සොරුන් සෙවීමේ මෙහෙයුමට එකතු වූහ. ඊට තවත් සුළු වේලාවකින් අනතුරුව හදිස්සියේ දිව යාමේදී බිම වැටී තිබූ එක් සොරකුගේ මුදල් පසුම්බියක් සොයාගැනීමට ත්‍රීරෝද රථ රියැදුරෙකු සමත් විය. එහි ඔහුගේ රියදුරු බලපත්‍රය හා තවත් අවශ්‍ය කරුණු සාක්ෂි රාශියක් විය. පැය 1.30ක් යන්නටත් මත්තෙන් සොරුන් 4 දෙනෙක්ම කොටු කරගන්නට හැකිවිය. අවසානයේ එම තරුණ පිරිස හා ප්‍රදේශයේ තරුණයින් එක්ව ඔවුන් සතු වූ කැමරාව සහ මුදල් සමඟ සොරුන් අල්ලා පොලිසිය වෙත භාර කරන ලදී.

එහිදි අදාළ සොරුන් කැලණිය සහ එඬේරමුල්ල ප්‍රදේශවල පදිංචි වයස අවු. 20-25 අතර පසුවන තරුණයින් බවට අනාවරණය විය.

එමෙන්ම එයින් නොනැවතී විඩාබරව හා බියෙන් සළිත වී සිටි ජෙනිෆෙර් හමිල්ටන් හා ලින්සි හැමිල්ටන් යන තරුණියන් දෙදෙනාට සංග්‍රහයක්ද සිදු කර, ඔවුන් සතුව එම අවස්ථාවේදී කිසිදු මුදලක් ද නොතිබූ බැවින් ඔවුන්ගේ එම දවසේ වියදම ද පියවා දැමීමට තරුණ පිරිස කටයුතු කළහ. අවසානයේ ”ශ්‍රී ලංකාවේ තරම් සුන්දර මිනිසුන් සිටින රටක් තවත් ඇතැයි මම නොසිතමි. ඔබ ඒ තරම් සුන්දරයි, විශිෂ්ටයි. ඔබ ස්කොට්ලන්ත පොලිසියටත් වඩා කාර්යක්ෂමයි. අපි ඔබට සදා ණයගැතියි.” ලින්සි හැමිල්ටන් සොහොයුරිය හැඟීම්බරව කදුළු සළමින් තම ස්තූතිය පුද කළාය.

ලෝකයක් හමුවේ ශ්‍රී ලාංකීය නාමයට එක් වීමට ගිය අපකීර්තිය වළක්වා ගනිමින් එම නාමය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ තරුණ කණ්ඩායමට සහ ඇල්ල ප්‍රදේශයේ තරුණ කැලට ජාතියේ ප්‍රණාමය පුද කර සිටිමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *