ප්‍රේක්ෂකයින් කඳුළු සලමින් ප්‍රේක්ෂකාගාර පිරිසිදු කරද්දී, ජපාන පාපන්දු කණ්ඩායම විවේකාගාරයේ දී කළ ලොවට ආදර්ශයක් සැපයූ මනුසත් ක්‍රියාව..

ලෝක කුසලාන පාපන්දු තරඟ ඉතිහාසයේ අර්ධ අවසන් පුර්ව වටයට පිවිසෙන තෙවැනි ආසියාතික රට බවට පත්වීමට ජපානයට තිබූ බලාපොරොත්තු සියල්ලම විනාඩි 20 ක් ඇතුළත බොඳකර දමන්නට බෙල්ජියම සමත් වුනේ ලක්ෂ සංඛ්‍යාත ජපාන ක්‍රීඩාලෝලීන්ගේ නෙතඟට කඳුලක් එක්කරමින්.

තරඟය නිමා වීමට ඉතිරිව තිබූ අන්තිම මිනිත්තු 20 තුල තරඟයේ ජපානයට තිබූ වාසිය කණපිට දමමින් බෙල්ජියම් ක්‍රීඩකයන් පිට පිටම තුන් වතාවක් පන්දුව දැළ තුළට යොමු කරමින් ගෝල 03-02 ක විශිෂ්ට ජයක් ලබන්නට සමත් වුණා.

බෙල්ජියම හමුවේ ලද පරාජය විඳගැනීමට නොහැකිවූ ප්‍රේක්ෂකාගාරයේ සිටි ජපාන ක්‍රීඩාලෝලීන් කඳුළු සලමින් තමන් ප්‍රේක්ෂකාගාරයට ගෙන ආ දේවල් අරන් යන්න අමතක කරේ නැහැ.

තරඟය අවසන් වීමෙන් පසු ප්‍රේක්ෂකාගාරවල සිටි ජපාන ක්‍රීඩාලෝලීන් ඔවුන් ප්‍රේක්ෂකාගාරයේ රැඳී සිටි ස්ථානය සහ ඒ අවට පිරිසිදු කළ අයුරු මේ වන විට ජාත්‍යන්තරයේ කතාබහට ලක්ව තිබෙනවා.

ලොවටම ආදර්ශයක් සැපයූ මෙම ක්‍රියාව ලොව වටා සිටින බොහෝ දෙනකුගේ පැසසුමට ද ලක්ව ඇති බව සඳහන්.

මේ අතර තරඟයෙන් අනතුරුව සිදුවූ තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව විදෙස් මාධ්‍යයේ අවධානය යොමුව තිබෙනවා.

ජපාන ක්‍රීඩකයින් ඊයේ පැවති තරඟයෙන් පරාජයට පත් වුවද ඔවුන් රැඳී සිටි ඔවුන්ගේ ක්‍රීඩා විවේකාගාරය පිරිසිදුකර යන්නටද අමතක කර තිබුණේ නැහැ.

මේ අතර විවේකාගාරය පිරිසිදුකළ ජපන් ක්‍රීඩකයින් මෙවර ලෝක කුසලාන තරඟාවලියේ සත්කාරකයින් වන රුසියාවට ස්තූතිය පළකරමින් කුඩා කොලයක රුසියානු භාෂාවෙන් සටහනක් තබා ගොස් තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *