බෞද්ධ අධ්‍යාපන ක‍්‍රමයේ වටිනාකම ගෝටා කියයි…

වාද්දුව, තල්පිටිය බෝධිරාජ මහා විහාරාධිපති මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක මාහිමිපාණන් වහන්සේගේ ආරාධනයෙන් ශ‍්‍රී සරණපාල දහම් පාසලට වසර සියයක් සැපිරීම නිමිත්තෙන් පැවති සියවස් උදාන සමරු උත්සවයට සහභාගි වෙමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂමහතා මෙසේ අදහස් පල කලේය.

අපි පැරණි අධ්‍යාපනය ක‍්‍රමය තුළින් දැක්කේ ගුරුවරයා සහ විෂය ප‍්‍රමුඛත්වය කොටගත් අධ්‍යාපනය ක‍්‍රමයක්. අභිමානවත් ගුරුවරයෙක් පන්ති කාමරය තුළින් අපි දකිනවා. ගුරුවරයා දැනුම ගබඩා කරගත් පුද්ගලයෙක්.

ඔහු ගබඩා කරගත් ඒ දැනුම ශිෂ්‍යයාට ලබාදෙනවා. ඇතැම් විට ඒ ගුරුවරයාසිය දැනුම සම්පූර්ණයෙන්ම ලබා නොදෙන්න පුළුවන්. එදා තිබුණේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමයක්. මේ නිසා කල්යෑමේදී අපි දැැක්කා ඒ ශිෂ්‍යයන් අධ්‍යාපන ධාරාවෙන් හැලෙනවා. ගුරුවරයා සහ විෂය කේන්ද්‍රකරගත් අධ්‍යාපනය ක‍්‍ර‍්‍රමයට වඩා ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමයක් විය යුතුයි.

බෞද්ධ අධ්‍යාපනයේදී තමයි ශිෂ්‍ය කේන්ද්‍රීය ක‍්‍රමය ආරම්භ වුණේ. එදා ගුරුවරයා හා ශිෂ්‍යයා අතර සම්බන්ධය පියපුතු සෙනෙහසක් විදිහටයි සැලකුවේ. ගුරුවරයා වඩා ත් ශිෂ්‍යයා ගැන අවබෝධය කින් යුක්තව අධ්‍යාපනය ලබාදුන්නා. ශිෂ්‍යයාගේ විෂය ධාරාව හඳුනා ගෙන කටයුතු කළා.

මෙවැනි සංකල්පයන් ඉදිරිපත් කළේ බෞද්ධ අධ්‍යාපනය තුළින් පමණයි. විශේෂයෙන්ම බෞද්ධ දර්ශනයේදී ශිෂ්‍ය අවස්ථා අනුව අධ්‍යාපන ක‍්‍රමය පෙළගැස්විය යුතු ආකාරය පෙන්නුම් කර දී තිබෙනවා. ශිෂ්‍යයාට තිබෙන නිදහස බුදුදහ මේ පෙන්නුම් කර තිබෙනවා. ශිෂ්‍යයන් තුළ තිබෙන බුද්ධියේ ශක්තිය පෙන්නුම් කර දී තිබෙනවා.

විශුද්ධි මාර්ගයට අනුව ප‍්‍රඥාව තුන් ආකාරයකට පෙන්වා දී තිබෙනවා. යම් කිසිදෙයක් ස්වඋත්සාහයෙන් අවබෝධ කර ගැනීම, යම් කිසි කෙනෙකු උගන්වනදේ දැනගෙන ඉගෙන ගැනීම, ඒ ඉගෙන ගැනීමට අමතරව සිතෙහි ඒකාග‍්‍රතාවයක් ඇතිකරගෙන ප‍්‍රඥාව දියුණු කර ගැනීමයි. පන්ති කාමරය තුළ විශේෂිත හැකියාවන් ඇති දරුවන් අපි දැකලා තිබෙනවා.

කුසලතාව අනුව අවධානයට පත්විය අවස්ථාවක් ලෙස බුදුන් වහන්සේ එදා දේශනා කර තිබෙනවා. බෞද්ධ අධ්‍යාපන දර්ශනය තුළ කිසිම ශිෂ්‍යයෙක් දුර්වල නොවෙයි. දහම් පාසලේදී පමණක් නොව සාමාන්‍ය අධ්‍යාපන ක‍්‍ර‍්‍රමයේදීත් බෞද්ධ අධ්‍යාපනය වැදගත්.

සාමාන්‍ය අධ්‍යාපන ක‍්‍ර‍්‍රමය තුළ භාවනා දියුණු කර ගැනීමට නොහැකි නම් දහම් පාසලේදී හෝභාවනාව දියණු කර ගත හැකියි. භාවනාව දියුණු කිරීම තුළින් අධ්‍යාපනය ලැබීමේ හැකියාව වඩාත් දියුණු කරගත හැකියි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මානසික තත්ත්වය වැඩි දියුණු කර ගැනීමටත් එය ඉවහල් වෙනවා. අධ්‍යාපනය බෞද්ධ දර්ශනයට එක්වීම තුළින් සමාජයට යහපත් පුද්ගලයන්දායාද කළ හැකි බව අපගේ විශ්වාසයයි.

– චාමින්ද කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *