දුමින්දගේ පියාගේ රියදුරුගෙන් සාක්ෂිකරුවකුට බලපෑම්..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුව පැවැත්වෙද්දි එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් නොකියන ලෙස විත්තිකාර දුමින්ද සිල්වාගේ පියාගේ රියැදුරු එහි සාක්කිකරුවකුට දුරකථනයෙන් බලපෑම් කර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මහාධිකරණයේ එම නඩු විභාගයේදී එම සාක්කිකරු සඳහන් කළ දුරකථන අංකය සහ විත්තියේ සාක්කිකරුවකු වූ දුමින්ද සිල්වාගේ පියාගෙන් හරස් ප්‍රශ්න විමසීමේදී සිය රියදුරුගේ බවට සඳහන් කළ දුරකථන අංකය එකිනෙක සසැ‍ඳෙන බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද සිල්වා සහ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනාගේ කණ්ඩායම් දෙක අතර 2011 පළාත් පාලන මැතිවරණ දින කොළොන්නාවේදී ගැටුමක් ඇති වූ බවත් එහිදී දුමින්ද සිල්වා පළමුවෙන්ම භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට පහර දී ඇති බව සාක්කිවලින් අනාවරණය වී ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා.

එම ගැටුමේදී දෙපිරිස අතර වෙඩි හුවමාරුවක් ඇති වූ අතර භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ලේ විලක වැටී සිටි බවද දුමින්ද සිල්වාගේ ඇස අසල ලේ ගලමින් සිටි බවද සාක්කිවලින් හෙළිව තිබෙනවා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී ඉදිරිපත් වූ සාක්කිකරුවන් පස්දෙනකුගේ සාක්කි ගෙනහැර දක්වමින් නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කෙළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දුමින්ද සිල්වාට නිකුත් කර තිබූ ගිනි අවිය එම නඩුවෙහි විත්තිකරුවකු වූ ගැබෙඩ නමැති තැනැත්තාගේ අතෙහි එම අවස්ථාවෙහි තිබී ඇති බබවයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව්දෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වී මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් එම දඬුවම ඉවත් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා මේ බව කියා සිටියා.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලීන් පෙරේරා සහ විජිත් මලල්ගොඩ යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම් කැඳවන ලදී.

විත්තිකාර අභියාචකයන් වන දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවි ජයන්ත හෙවත් දෙමටගොඩ චමින්ද සහ මුදියන්සේලාගේ සරත් බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු සිය කරුණු දැක්වීම් ඊයේ දිනයේදී අවසන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *