“දැන් මට පෙම්වතෙක් ඉන්නවා. එයා කවුද කියලා හරි කාලෙදි හැමෝටම දැනගන්න ලැබෙයි..” – තාරුකා වන්නිආරච්චි

“ඇත්තටම කසාද බැඳල නෙවෙයි. ඒකෙන් ගැටලුවක්‌ මතු වුණේ නෑ…”

“කාව කසාද බැන්දත් රගපෑම නතර කරන්නේ නෑ…”

තාරුකා වන්නිආරච්චි ගැන මේ දවස්වල වැඩිපුර කතා කරනවා. ඒ ඇය හොර රහසේම විවාහ වෙලා කියලා. ඒ වගේම ඇයට පෙම්වතෙක් ඉන්නවා කියලත් ඇතැම් අය කියනවා. ඇත්තටම මොකක්ද ඒ කතාව කියලා ඇයම කියනවා. මේ ඇය කියන ඒ කතාවයි.

තාරුකාට මේ දවස්‌වල වැඩ වැඩි වෙලාද?
පසුගිය දවස්‌වල අපි ප්‍රවීණ කලාකරුවන්ගේ ප්‍රසංගයක්‌ පැවැත්වූවා. ඒ වගේම ටෙලි නාට්‍ය දෙකකටත් සම්බන්ධ වුණා. ඒ දේවල් එක්‌ක ටිකක්‌ කාර්ය බහුල වුණා.

දැන් විවේකයෙන්ද?
නෑ… නෑ, හිරු ටී වී එකේ මෙගා ස්‌ටාර්වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒකෙ තරගයක්‌ තියෙනවා. ඉදිරියේදී ඒකට සූදානම් වෙන්න ඕන.

පසුගිය කාලෙ වැඩිය දකින්න ලැබුණෙ නෑ?
මෙහෙමයි.. පහුගිය කාලෙ මම නිර්මාණවලට සම්බන්ධ වුණා. නමුත් තවම විකාශනය වුණේ නෑ. අගෝස්‌තු පළමු වැනිදා ඉදන් ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා.

රඟපෑමට වඩා නර්තනයට වැඩි ඉඩක්‌ දෙනව කියන්නේ?
නෑ… එහෙම නෑ. මෙහෙමයි පසුගිය දවස්‌වල සමහර වැඩසටහන්වලදි නර්තන හැකියාව පෙන්වන්න අවස්‌ථාව ලැබුණා. ඒ වගේම ප්‍රසංගවලටත් ආරාධනා ලැබුණා. නමුත් රංගනයට තමයි වැඩි ඉඩක්‌ වෙන් කරන්නේ. ඊට අමතරව අවස්‌ථාව ලැබෙන හැටියට නර්තන කටයුතුත් කරනවා.

පසුගිය දවස්‌වල මනාලියකගේ ඡායාරූප පෙළක්‌ අන්තර්ජාලයේ සැරිසරුව නේද?
ඒ මංගල ඡායාරූප ගතකිරීමක්‌ විතරයි. ඇත්තටම කසාද බැඳල නෙවෙයි. ඒකෙන් ගැටලුවක්‌ මතු වුණේ නෑ.

තාරුකා සැබෑවටම මනාලියක්‌ වෙන්න යනව කියල ආරංචියි?
මෙහෙමයි. එකපාරටම ඉතින් එහෙම කරන්න බෑනෙ. සැලසුම් කරල එහෙම කසාද බඳින්න එපැයි. ඉස්‌සරහට ඒක ගැන හිතන්න ඕනෙ.

තාරුකා පෙම්වතියක්‌?
ම්… ම්… ඔව්…

ඔහු ගැන කියමුද?
නෑ…එහෙම අවශ්‍ය නෑ. හරි කාලෙදි හැමෝටම දැනගන්න ලැබෙයි.

ඒ හරි කාලෙ මොන කාලෙදි ඒ විද?
ම්… ම්… ම්… තව අවුරුද්දකින් විතර.

තව අවුරුද්දකින් තාරුකා පිළිවෙළක්‌ වෙනව?
ඔව්… එහෙම වේවි… සමහරවිට…

විවාහයෙන් පස්‌සේ රඟපෑමෙන් ඈත් වෙයිද?
නෑ… එහෙම වෙන්නෙ නෑ.. කලාව කියන්නේ මගේ ජීවිතයට සම්බන්ධ දෙයක්‌. ඒ නිසා කවුරු කසාද බැන්දත් අවස්‌ථාව ලැබෙන හැටියට නිර්මාණවලට දායක වෙනවා.

එදා තිබුණ ජනප්‍රියත්වය අද අඩු වෙලාද?
නෑ… මම හිතන්නේ දැන් ජනප්‍රියත්වය වැඩිවෙලා කියල. ඒ මට දැනුන දෙයක්‌. පහුගිය කාලෙ මං රංගනයෙන් එකතු වුණු ටෙලි නාට්‍ය එකක්‌වත් විකාශනය වුණේ නැති වුණත්, කලින් විකාශනය වුණු ටෙලි නාට්‍යවල කරපු චරිත තවමත් රසිකයන්ගේ සිත්වල තියෙනව. මඟතොට මුණගැහෙන අයගෙන් ලැබෙන ප්‍රතිචාරවලින් ඒක හොඳටම දැනෙනවා.

රංගනයේදී ලැබෙන්නෙ එක වගේ චරිත නේද?
මෙහෙමයි. එක වගේ කියන්නත් බෑ. බොහොමයක එහෙම වෙන්න ඇති. නමුත් වෙනස්‌ චරිත කරල තියෙනව. ගොඩක්‌ වෙලාවට නිර්මාණ ලැබෙන්නේ පෙනුමෙ හැටියටනෙ.

නැවත සිනමාවට ආරාධනයක්‌ නැතිද?
ඔව්… සිනමාවට ආරාධනයක්‌ ලැබුණ. ලබන සැප්තැම්බර් මාසයේදී අලුත්ම චිත්‍රපටයකට සම්බන්ධ වෙනව. ඊට අමතරව චිත්‍රපට තුනක්‌ දැනට එන්න තියෙනව.

මොනවද ඒ චිත්‍රපට?
වැලි පවුරු, රී ලෝඩ්, ටවුමෙ ඉස්‌කෝලෙ තමයි ඒ නිර්මාණ.

තාරුකා වගා කරන්න යනව කියන්නේ?
ඇත්තටම මෙහෙමයි. වගා කිරීම සම්බන්ධයෙන් ලොකු ආසාවක්‌ හිතේ තියෙනවා. දැනට ඒ ගැන අධ්‍යයනයක්‌ කරගෙන යනවා.

රඟපෑමට සීමා මායිම් දාගෙනද?
රංගන ශිල්පිනියක්‌ විදියට යම් දෙයකට සීමා වුණොත් ඒක අපිටම කරගන්න අසාධාරණයක්‌. නමුත් සමහර වෙලාවට අපි එක එක්‌කෙනාට වෙන්වුණු සීමාවක්‌ තියෙනව. ඒ සීමාවෙන් එහාට යනවද නැද්ද කියන එක තමන් තීරණය කරන්න ඕන.

ෆොටෝ ෂූට්‌ එක කළේ කාගෙ හරි ඉල්ලීමකට ද?
ඔව්… රූපලාවන්‍ය ශිල්පිනියකගේ ආරාධනයකට තමයි ඒ ඡායාරූපවලට පෙනී හිටියෙ.

මහේෂ් එදිරිසිංහ

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *