පැණි බීලා, බාබුල් කාලා පටන් ගත්ත ජීවිතේ “මතයි, සුද්දියෝයි, ජෝලියයි” ගෙනාවා විනාසේ !..

පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත සුවපත් කරන වෙද පන්සලකි.

එම වෙද පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය.

උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථීක ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම සඳහා සුමඟට යොමු කිරීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය.

මේ වන විට එසේ ප්‍රතිකාර ලබා සුවපත් වී එම විශෝධන මධ්‍යස්‌ථානයෙන් පිටව ගිය තරුණයන් තුන් හාරදාහකට වැඩිය. පසුගිය දිනක අප එම විශෝධන මධ්‍යස්‌ථානයට යන විටත් මත්ලෝලි තරුණයන් සියයකට ආසන්න පිරිසක්‌ ප්‍රතිකාර ලබමින් සිටියහ.

ඔවුන් සියලු දෙනා වයස අවුරුදු තිහට නොවැඩි, රටට වැඩ ඇති තරුණයෝය. එහෙත් කුඩු පිළිලය එම තරුණයන්ව වැඩකට නැති ගානට පත් කර තිබිණි. එම තරුණ ජීවිත මත් වී ඇති ආකාරය එකිනෙකට වෙනස්‌ වුවද, කතාව ඇසෙන විට සිත මහ දුකකින් පිරිණි. එහෙත් මතට ඇබ්බැහි වූ කතා බොහෝමයක්‌ අපි ඇසුවෙමු.

මෙතැන් සිට පෙළගැසෙන්නේ එම කතාවලින් තෝරාගත් කිහිපයකි. මේ එම කතා මාලාවේ දහසයවැනි කොටසය. පෙළගැසෙන මේ කතා මාලාව කියවා වින්දනයක්‌ ලබාගැනීමට නොවේ, ජීවිතවලට පාඩමක්‌ කරගැනීමට පමණි.
මේ තරුණයාගේ උපන් ගම දෙහිවලය. අධ්‍යාපනය ලබා ඇත්තේ නුගේගොඩ ජනප්‍රිය පාසලකය. එහෙත් පුංචි සන්දියේ සිට නරක ඇසුරට වැටී මතට ලොල් වූ නිසා පාසල් දිවියේ සාමාන්‍ය පෙළ කඩඉම හෝ පැන ගැනීමට නොහැකි වී ඇත. අකාලයේ පාසල් දිවියෙන් සමුගත් ඔහු මත් සාගරයේ කිමිදිණි. සූදුවේ අන්තයටම ගියේය. ලිංගික ඇසුරුට ලොල් විය.

අවසානයේ ඔහුව කෙසේ හෝ දුසිරිතෙන් මුදාගැනීම අදිටන් කරගෙන මවුපියන් විසින් බලහත්කාරයෙන් මිතුරු මිතුරෝ ආයතනයට ගෙනැවිත් ඇත. ඔහු මේ ආයතනයට අකැමැත්තෙන් පැමිණිය ද දැන් ඉන්නේ සතුටිනි. ජීවිතය මත් වූ හැටි අපට කියන්නේ ද සිය කැමැත්තෙනි. අපි ඔහුගේ නම වෙනස්‌ කර ‘දියා’ ලෙස හඳුන්වමු. මේ දියා මතට දිය වූ හැටි අපට කියන කතාවය.

“මම පුංචි කාලේ ඉඳලා විනෝදෙන් ඉන්න හරිම කැමතියි. ජැන්ඩියට ඇඳ, පැළඳගෙන කොල්ලො එක්‌ක රවුම් ගහන්න පුදුම කැමැත්තක්‌ තිබුණේ. පිළිවෙළට ඇඳ, පැළඳගෙන ඉස්‌කෝලෙට ගියාට ඉගෙන ගන්නත් බැරි වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පාස්‌ වුණේ විෂයන් තුනයි.

මහන්සි වෙලා දෙවැනි පාර විභාගය කරනවා කියලා හිතාගෙන පාඩම් කරන්න ගත්තා. විභාගයට මාසයක්‌ තියෙද්දි යාළුවකුගේ පාටියකට ගිහින් එනකොට ඇක්‌සිඩන්ට්‌ වෙලා විභාගය කරගන්න බැරිව ගියා. එතකොටත් මම හොඳටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉස්‌කෝලේ 8 වසර පන්තියේ ඉඳලා අපේ පන්තියේ ගොඩක්‌ම පිරිමි ළමයි මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. අපේ සෙට්‌ එකේ ගෑනු ළමයිත් ඉඳලා හිටලා මත්ද්‍රව්‍ය ගත්තා…”

“ඉස්‌කෝලේදී අපි වැඩිපුරම ගත්තේ මත් පෙති, පැණි, බාබුල්. අට වසර පන්තියේදී දවසක්‌ පෙති බීලා වැඩි වෙලා අපි තුන් දෙනෙක්‌ ඉස්‌කෝල ඉස්‌ටෝරු නිදාගත්තා. ඇහැරුණේ මහ රෑ. ආයෙත් එතැනම නිදාගෙන උදේ පාන්දර ගෙදර ගියා. ඇඟේ අමාරුවට දවස්‌ දෙකක්‌ ඉස්‌කෝලේ ආවෙත් නෑ. තව දවසක්‌ නවය පන්තියේදී කෙල්ලො, කොල්ලො අපි සෙට්‌ එකක්‌ ගල්කිස්‌සේ බීච් එකට බැහැලා මුහුදේ සෙල්ලම් කර, කර ගංජා, පෙති, පැණි බිව්වා.

මුහුදේ දඟලනකොට මත් වෙනවා තේරුණේ නෑ. පැය, දෙක තුනක්‌ යනකොට අපි කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නැතිව ගියා. මුහුදු වැල්ල නාඩගම් පොළක්‌ වුණා. එදා මම ගෙදර ආපු විදිහවත් දන්නේ නෑ. අපිත් එක්‌ක නාන්න ගිය කෙල්ලො හතර දෙනෙක්‌ ඊට පහුවෙනිදා ඉස්‌කෝලේ ආවෙත් නෑ. ඒ කාලේ ගුරුවරු පන්තියේ උගන්වන අතරත් අපි බාබුල් හපනවා. ගුරුවරුත් අපිව අතහැරලා වගේ තමයි තිබුණේ…”

“ඉස්‌කෝලේ ගමන නතර කළාට පස්‌සේ වැඩියෙන්ම ඇසුරු කළේ ගමේ යාළුවො. ඒ හැම කෙනෙක්‌ම මට වඩා වැඩිමහල්. ඒ වගේම මම ඇසුරු කරපු සියලු දෙනා මත්ද්‍රව්‍ය පාවිච්චි කළා. මමත් ඒ අයත් එක්‌ක එකතු වෙලා ගංජා, අරක්‌කු, පෙති හොඳ හැටි බිව්වා. බීච් පාටි එකක්‌වත් අතහැරියේ නෑ. බීච් පාටිවලදී මතයි, සෙක්‌ස්‌ෂුවල් හැගීමයි එකතු වුණාට පස්‌සේ වෙනත් කිසිම දෙයක්‌ ගැන මතක්‌ වෙන්නේ නෑ.

එතැන වෙනම ලෝකයක්‌. පියවි සිහියට එන්නේ එළිය වැටුණට පස්‌සෙ තමයි. සමහර දවස්‌වලට වැල්ලේ නිදා ගත්තා. නැති නම් හෝටල් කාමරයක සුද්දියක්‌ තුරුලු කරගෙන හිටියා. අන්තිමේ දහය වසර පන්තියේ ඉඳලා ආදරය කරපු කෙල්ලවත් මට එපා වෙන්න ගත්තා. මගේ ජීවිතය වුණේ මතයි, සුද්දියොයි. විදේශීය කාන්තාවන්ගෙන් මම වැඩිපුරම ඇසුරු කළේ තායිලන්ත, පිලිපීන් කාන්තාවන්. ඒ අය පිරිමින්ට හරිම ආදරෙයි. උපරිම සතුටු කරනවා. මගේ වයසටත් වඩා පිලිපීන් කාන්තාවන් ඇසුරු කරලා ඇති…”

“ඒ සන්දියේදී ඉස්‌කෝලේ යාළුවො සෙට්‌ වුණේ කලාතුරකින්. ඒත් අපේ ටි්‍රප් එකට අපි සෙට්‌ එක ලංකාවේ කොහේ හිටියත් සෙට්‌ වුණා. පුංචි කාලේ ඉඳලා එකට ඉගෙනගත්ත දොළහක්‌ විතර තමයි බොක්‌කෙන්ම ඇසුරු කළේ. ඒ සෙට්‌ එක අදටත් ඉන්නවා. මම ආදරය කරපු කෙල්ලත් ඒ අතර ඉන්නවා. ඉස්‌කෝලේ යාළුවන්ගෙන් මම තමයි නන්නත්තාර වුණේ. මට එහෙම වුණේ ගමේ කොල්ලො එක්‌ක සෙට්‌ වෙන්න ගිය නිසා තමයි.

ඒ අය තමයි මට කුඩු දුන්නේ. මුල් දවස්‌ දෙක, තුනේදී කුඩුවලින් ලොකු ෆිලින් එකක්‌ දැනුණේ නෑ. ඒත් සතියක්‌ විතර යනකොට කුඩු නැතිව බැරි වුණා. සියලු මත්ද්‍රව්‍ය අතහැරලා දවස පුරා කුඩු බිව්වා. ගෙදර සල්ලි හොරකම් කරලා තාත්තගේ අතටම අහු වෙලා ගහලා පැන්නුවට පස්‌සේ යාළුවන්ගේ ගෙවල්වල ඉඳගෙන ගංජා බිස්‌නස්‌ කරන්න පටන් ගත්තා. අපි ගැවසෙන ඉසව්වේම ගංජා, පෙති විකුණලා හොයාගත්ත ගතමනාවෙන් කුඩු බිව්වා.

අතට සල්ලි ආපු ගමන් දුවන්නේ කුඩු පැකට්‌ එක හොයාගෙන. බඩට කෑම ඕන නෑ. ඒත් හිතට කුඩු ඕනෑ. කුඩු සික්‌ හැදුණහම පිස්‌සු වැටෙනවා. අපි කරන්නේ මොනවද කියලා තේරෙන්නේ නෑ. කරක, මාලයක්‌ දිලිසෙනවා දැක්‌කත් ඒක කඩාගෙන දිව්වේ කුඩු පොට්‌ එකකට. මාලේ දීලා කුඩු බීපු අවස්‌ථා අනන්තයි…”

යාළුවන්ගේ ගෙවල්වල ලැගගෙන ඉන්නකොට තාත්තා මාව හොයාගෙන ඇවිත් ගෙදර එක්‌ක ගිහින් කුඩු එපා වෙන්න බෙහෙත් අරගෙන දුන්නා. ඒ බෙහෙත් බීලා මාව මැරෙන්න ගියා. බෙහෙත් නතර කරලා ඉන්නකොට තාත්තා මාව කොළඹ සුපිරි හෝටලයක ජොබ් එකකට දැම්මා. මට වැඩ කරන්න ලැබුණේ කිචන් එකේ. ඒ ජොබ් එකට ගියාට පස්‌සේ මට නැවත උපරිම නිදහස ලැබුණා. කුරුල්ලෙක්‌ වාගේ පියැඹුවා.

මාසයක්‌, දෙකක්‌ යනකොට හෝටලයේ ඇතුළටත් මම කුඩු ගෙනිච්චා. එළි වෙනවා රෑ වෙනවා දන්නේ නෑ මම වැඩ. එහෙම ටික කාලයක්‌ ඉන්නකොට ඒ හෝටලයේම රියෑදුරෙක්‌ විදිහට වැඩ කරන්න සෙට්‌ වුණා. මගේ රාජකාරිය වුණේ ගෙස්‌ට්‌ලා හයර් කරන එක. තවත් නිදහස ලැබුණා. අතට සල්ලිත් පිරුණා. ඇති සැටියට කුඩු බිව්වා. රෑ තිස්‌සේ කුඩු බීලා නයිට්‌ ක්‌ලබ් ගිහිල්ලා, කෙල්ලෝ එක්‌ක ඩාන්ස්‌ කරලා, ආතල් අරගෙන උදේ ගෙදර ආවට පස්‌සේ රස්‌සාවට යන්න පණ නෑ. අද ගියොත් හෙට නිවාඩු. අන්තිමේ නිවාඩු වැඩියි කියලා ජොබ් එකෙන් අයින් කළා…”

“ජොබ් එකක්‌ නැතිව හිටියට ගෙදර පැයක්‌වත් හිටියේ නෑ. එක වේලක්‌වත් ගෙදරින් කාලා නෑ. තාත්තාගේ වාහනය අරගෙන මම යාළුවොත් එක්‌ක රෝන්දේ ගැහුවා. ජීවිතය පාවුණේ කුඩු මත. කුඩු බොන්න සල්ලි නැති වෙනකොට නැවත ගෙදර සල්ලි, බඩු මුට්‌ටු හොරකම් කරන්න පටන් ගත්තා. අහල, පහල ගෙවල්වලට පැනලා හොරකම් කළා. මොන ජල්තර වැඩේ කරලා හරි කුඩු බොන්න දවසකට රුපියල් හය, හත්දාහක්‌ හොයාගත්තා.

ජොබ් එක කරනකොට එක දවසට රුපියල් පහළොස්‌ දහසක කුඩු බීලා තියෙනවා. කුඩුවලට කොච්චර වියදම් කළත් දුකක්‌ හිතෙන්නේ නෑ. අතේ තියෙන්නේ කීයද ඒ සියල්ල වියදම් කරන්න පුළුවන්. මම නිසා අම්මා, තාත්තා දුක්‌ වෙනවා. සහෝදරයන්ට සමාජයට මූණ දෙන්න බෑ කියලා මොහොතකටවත් හිතෙන්නේ නෑ.

ආදරය, කරුණාව ඒ සියල්ල හිතෙන් මැකිලා. කෙල්ලො ආශ්‍රය කරන්නේ සෙක්‌ස්‌වලට විතරයි. එතැනින් එහාට කිසිම ගනුදෙනුවක්‌ නෑ. කුඩු බොන්න සල්ලි නැති වෙලාවට සල්ලි ඉල්ල ගැනීමේ පරමාර්ථයෙන් මම කෙල්ලො තුන්දෙනෙක්‌ව ආශ්‍රය කළා…”

“හොඳ රොබරියක්‌ ගැහුවම කෙල්ලො තුන්දෙනාටම හොඳට සලකනවා. රත්තරං බඩු අරගෙන දුන්නා. ඇඳුම් පැළඳුම් අරගෙන දුන්නා. අත දිග හැරලා වියදම් කළා. ගමන් බිමන් ආවේ ගියේ තාත්තාගේ වේසල් එකේ.

එහෙම කොල්ලෙක්‌ව දාලා යන කෙල්ල කවුද… කෙල්ලො තුන්දෙනාගෙන්ම මට කිසිම දෙයක්‌ බලහත්කාරයෙන් ගන්න ඕන වුණේ නෑ. ඒ අය කැමැත්තෙන්ම සියලු දේ මට දුන්නා. අන්තිමේ ඒ තුන්දෙනාටම මාව දාලා යන්න බැරි වුණා. කුඩු බොන්න සල්ලි නැති වුණාම බොරුවක්‌ කියලා ගෙවල්වලින් සල්ලි ගෙන්න ගත්තා. ඒ අයගේ අතේ, කරේ තිබුණු රත්තරං බඩු ගලව ගත්තා.

තුන්දෙනාට, තුන්දෙනා කිසිම දෙයක්‌ දැනගෙන හිටියේ නෑ. මම කුඩ්ඩෙක්‌ කියලවත් දැනගෙන හිටියේ නෑ. ඒ කෙල්ලන්ට මම මත්ද්‍රව්‍ය දුන්නෙත් නෑ. ඒත් මම ඉස්‌කෝලේ යන කාලේ ඉඳලා ආදරය කරපු කෙල්ලගේ අක්‌කා එක්‌ක සියලු මත්ද්‍රව්‍ය ගත්තා…”

“අක්‌කා බැඳලා ජීවත් වුණේ නවසීලන්තයේ. එයා නිවාඩුවට ඇවිත් ඉන්නකොට කෙල්ලයි, අක්‌කයි කිහිප සැරයක්‌ මගේ වාහනයේ ෂොපින් ගියා. එතකොට මම ඒ කෙල්ලගේ ගෙදර යනවා, එනවා. අපේ පවුලේ අයත් කැමැත්තෙන් හිටියේ. දවසක්‌ කෙල්ලයි, අක්‌කයි ෂොපින් ගිහින් මම ඇරලවන්න ගෙදරට ගිහාම මගේ කෙල්ල එහාට වෙනකම් ඉඳලා නංගිට කියන්න එපා, රෑට මට පාටි එකකට යන්න තියෙනවා මල්ලිට එන්න පුළුවන්ද කියලා අක්‌කා මගෙන් ඇහුවා. මමත් කැමැති වුණා.

ඒත් එදා රෑ දෙහිවල හෝටලයක පාටි එකකට යන්න ලෑස්‌ති වෙලා හිටිය විත්තිය මට මතක්‌ වුණේ පස්‌සේ. රෑ දහයට විතර ජැන්ඩියට ලෑස්‌ති වෙලා පාටියට යන්න වාහනය ගෙදරින් එළියට ගන්නකොටම අක්‌කා මට කෝල් එකක්‌ ගැහුවා. එයාවත් කියන තැනකට ඩොප් කරගෙනම යනවා කියලා හිතලා කෙළින්ම ගියා රත්මලානට.

එතකොටත් අක්‌කා කියපු තැනට ඇවිත් හිටියා. වාහනයට නැඟලා කොළඹ පැත්තට එනකොට ගල්කිස්‌ස හන්දියෙන් තවත් එයාගේ යාළු කෙල්ලො තුන්දෙනෙක්‌ වාහනයට නග්ග ගත්තා. ඊට පස්‌සේ මට කිව්වා දෙහිවල මේ හෝටලයට දාන්න කියලා. බලනකොට මම යන්න හිටිය පාටිය…”

‘ආ මමත් ඒ පාටියට යන්න හිටියේ…’

‘ආ එහෙනම් හොඳයි නේ. තනියෙන්ද යන්න හිටියේ…’

‘නෑ, මගේ යාළුවො තුන් හතරදෙනෙක්‌ ඉන්නවා…’

‘එහෙම නම් යාළුවන්ටත් එන්න කියන්න අද අපි හොඳට එන්ජෝයි කරමු…’ අක්‌කා හරිම සතුටු වුණා. අක්‌කා එහෙම කිව්වට නංගිට ආදරය කරද්දී අක්‌කත් එක්‌ක පාටිවල ආතල් ගන්න එක මගේ හිතට සෙට්‌ වුණේ නෑ. මම උත්තරයක්‌ දෙන්නේ නැතිව ඉන්නකොට එයාම මගෙන් ඇහුවා ඇයි අවුල්ද… කියලා.

‘බය වෙන්න එපා මම නංගිට කියන්නේ නෑ…’ කියලා කාර් එකේදීම මගේ අත මිරිකුවා.

“පාටියට ගියාට පස්‌සේ තමයි අක්‌කා ගැන සහ අක්‌කාගේ යාළුවො ගැන තේරුම් ගියේ. මත්ද්‍රව්‍ය පප්පලා. විස්‌කි බෝතලයක්‌ හිස්‌ වෙලා පදමට එනකොට අක්‌කා මගේ අත අරගෙන කෝකෙන් පැකට්‌ එකක්‌ තිබ්බා. ඒ වෙනකොට මගේ යාළුවොත් අපිට සෙට්‌ වෙලා හිටියේ. ඇල්කොහොල්, කොකේන්, පෙති, ගංජා මත්ද්‍රව්‍ය ගොඩයි. අක්‌කා ඇතුළු අක්‌කාගේ යාළුවො තුන්දෙනාම ඒ සේරම මත්ද්‍රව්‍ය ගත්තා. බඹරු වගේ වැනුනට හොඳට ඩාන්ස්‌ කළා.

මගේ යාළුවන්ට අක්‌කාගේ යාළුවො සෙට්‌ වුණා. මට අක්‌කා සෙට්‌ වුණා. එදා රෑ අමුතුම රාත්‍රියක්‌ වුණා. එකම කාමරයේ කෙල්ලො හතරයි, කොල්ලො හයයි. හරිම අමුතුයි. එළිවෙනකම් ආතල්. ඊට පස්‌සේ හැමදාම රෑට අක්‌කා හිටියේ මාත් එක්‌ක. බීච් පාටි, නයිට්‌ ක්‌ලබ්, කැසිනෝ අක්‌කාට ඕනෑ ආතල්ම තමයි. වෙරි මතින් කෙල්ලො, කොල්ලො සේරම එකම රූම් එකක ෆන් එකේ ඉන්න අක්‌කා වගේම එයාගේ යාළුවොත් කැමැත්තක්‌ දැක්‌කුවා.

මටයි, මගේ යාළුවන්ටයි හරි ජොලි. කෑම, බීම, ලෑම සියල්ලම නොමිලේ ලැබුණා. අපිට තිබුණේ නිදිවරාගෙන මහන්සිවීම විතරයි. නිවාඩු ඉවර වෙලත් අක්‌කා ලංකාවෙන් යන්න අකැමැති වුණා. ගෙනාපු සල්ලි ඉවර වෙනකම් ආතල් ගත්තා. මටත් ඇති වෙන්න වියදම් කළා. ඊට අමතරව සැරෙන්, සැරේ මමත් සල්ලි ඉල්ලගත්තා. කොහොමහරි මගේ කෙල්ලටත් වැඩේ නෝන්ඩි වී ගෙන ආවා. ඊට කලින් අක්‌කා ලංකාවෙන් මාරු වුණා. මම පුරුදු ජීවිතය ගෙවාගෙන ගියා…”

“රෑ තිස්‌සේ නන්නත්තාරේ ඇවිද්දා. දවසින්, දවස ඇඟ දිය වුණා. මම කරන වැඩ නිසා ගමේ මිනිස්‌සු අපේ පවුලේ අනිත් අය දිහා අමුතු විදිහට බලන්න ගත්තා. අපේ පවුල එහෙම අපහාස විඳින්න ඕනෑ පවුලක්‌ නෙමෙයි. අපිට කිසිම අඩුපාඩුවක්‌ තිබුණේ නෑ. යාන වාහන, ගෙවල් දොරවල් සුපිරි විදිහට ජීවත් වුණා. අපේ තාත්තා රජයේ ආයතනයක කළමනාකරුවෙක්‌ විදිහට වැඩ කරලා විශ්‍රාම ගිහිල්ලත් නිකං හිටියේ නෑ.

සීයාගේ බාර් එක කරගෙන ගියේ තාත්තා. අදටත් තාත්තාගේ බිස්‌නස්‌ එක ඒක. අම්මා තමයි ගේ දොර බලාගන්නේ. මල්ලිලා දෙන්නා තවම ඉගෙනගන්නවා. ලොකු මල්ලි හතර වසරෙ. චූටි මල්ලි දෙක වසරෙ. අයියා කොම්පැණියක ජොබ් එකක්‌ කරනවා. අක්‌කා බැඳලා ජපානේ. මටත් තවම වයස අවුරුදු විසිහතරයි. ඒත් මම වඳ පීදුණා. ජීවිත කාලයටම කරන්න ඕනෑ වැඩ මම අවුරුදු විසි දෙකක්‌ යනකොට කරලා ඉවර කළා…”

“ජීවිතය අකාලයේ නාස්‌ති වෙනවා බලාගෙන ඉන්න බැරිම තැන තාත්තා යාළුවකුගේ ගෙදර යනවා කියලා මට බොරු කියලා තමයි මේ ආයතනයට අරගෙන ආවේ. මෙතැනට එනකම් මම දන්නේ නෑ. ඒ ඇවිල්ලත් සතියක්‌ දෙකක්‌ යනකම් මම උත්සාහ කළේ පැනලා යන්නමයි. දවසක්‌ රෑක දොර කඩාගෙන පනිsන්න ලෑස්‌ති වුණා. ඒත් අයියලාගෙන් ගැලවීමක්‌ නැති වුණා. ඊට පස්‌සේ මම හිත හදාගත්තා.

මාසයක්‌ විතර යනකොට හිතට, ගතට අමුතුම සුවයක්‌ දැනෙන්න පටන් ගත්තා. මාස දෙක, තුනක්‌ යනකොට හිතන, පතන විදිහ වෙනස්‌ වුණා. අන්තිමේ මම ගත කරපු ජීවිතය ගැන කලකිරුණා. මම ආයතන ගත වෙලා අවුරුදු එකහමාරකට කිට්‌ටුයි. දැන් මගේ හිතේ මත නෑ. මාව මේ ආයතනයට ගෙනාපු තාත්තාට පිං දෙනවා. කුඩු කියන මාරයාට වෛර කරනවා. හතුරෙකුටවත් කුඩු නම් දෙන්න එපා කියලා මම සමාජයෙන් ඉල්ලා හිටිනවා.

ඒක මහා පාපයක්‌. මම මේ කතා කරන්නේ අත්දැකීමෙන්. මම මේ ආයතනයෙන් පිට වෙන්නේ රටෙනුත් පිට වෙන්න බලාගෙන. මා වටා හිටිය යාළුවො මාරයො. මේ වෙනකොට යාළුවො කිහිපදෙනෙක්‌ම පරලොව ගිහින්. ජීවතුන් අතර ඉන්න පිරිස වැඩියි. නැවත ඒ පාප මිත්‍රයන්ව දකින්නවත් මම කැමැති නෑ…”

දියාගේ කතාව හරිම අපූරුය. පවිටු මිතුරන් ඇසුරු කිරීම යනු අපායේ දොරගුළු අකාලයේම විවර කරගැනීමකි. දියාගේ පවුලේ උදවිය උගත්, බුද්ධිමත් නිසා හේ තවදුරටත් ජීවත්වීමට වාසනාවන්ත විය.

එහෙත් දියා නිසා ඒ පවුලට සිදු වූ අවනම්බුව කිසිලෙසකින්වත් මකා දැමිය නොහැක. කුඩු යනු පවුල් සංස්‌ථා බිඳ දමන මහා පිළිලයකි. පවුලක එක්‌ සාමාජිකයකු කුඩුවලට ගොදුරු වුණොත් ඒ පවුලේ කඩාවැටීමේ ආරම්භයයි.

දියා කුඩුවල ආදීනව තේරුම් ගෙන සිටින නිසා දැන් ඒ පවුලට යම් අස්‌වැසිල්ලකි. එහෙත් එම පවුලේ හෙට දවස තීරණය වන්නේ නැවත සමාජයට පිවිසෙන දියාගේ කල්කිරියාව මතයි.

– තරංග රත්නවීර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *