“අද තියෙන තත්ත්වය අනුව අපිට රංගනය විතරක්‌ කරලා බෑ , අකමැත්තෙන් උනත් වෙන දේවල් කරන්න වෙනවා ” – යශෝදා රසදුනී

“කෙනෙකුට මානසික නිදහසක්‌ තියෙන්න ඕනෑ…”

“තාත්තා මිය ගියාට පස්සේ අපි දැන් ජිවත් වෙන්නේ අම්මා එක්ක..”

යශෝදා රසදුනී කියන්නේ මේ වෙනකොට බොහෝ දෙනාගේ අවධානයට යොමු වෙලා තියෙන නිලියක්. සයපෙති කුසුම සිනමා කෘතිය නිසා ඇය වඩාත් කතාබහට ලක් වුණා. නිරන්තරයෙන්ම දකින්න නොලැබුණත් යශෝධා කියන්නේ විවිධ චරිත රගපෑමට දක්ෂ නිලියක් කියලයි බොහෝ දෙනා කයන්නේ. මේ ඇය ගැන තොරතුරුයි.

යශෝදා රගපෑමට ආවේ සයපෙති කුසුම චිත්‍රපටයෙන් ?
ඔව්. මම මුලින්ම රගපෑවේ සයපෙති කුසුම කියන චිත්‍රපටයේ. ඒක පිරිමි දෙදෙනෙක්‌ සහ තව ගැහැනු ළමයෙක්‌ අතර දිවගිය කතාවක්‌. සයපෙති කුසුම තිරගත වූයේ 2016. ඊට පසුව මම ටෙලි නාට්‍යකත් රගපෑවා.

රංගනයට විත් ගෙවුණ දෙවසරක පමණ කාලය ඔබ නිස්‌කාන්සුවේ ආපු ගමනක හැඩයි ?
කලාවක්‌ කියලා රස විදින්න පුළුවන් නිර්මාණයකට දායක වෙන්න තමයි මම කැමැති. පහුගිය කාලයේ ඒ වගේ මට ලැබෙන නිර්මාණ එක්‌ක මම කැමැති වුණ නිර්මාණ තුනකට තමයි දායකත්වය දීලා තියෙන්නේ.

ඔබ දායක වී තිබෙන චරිත තුනම පිටිසර ගම්බද චරිත. මේ චරිතවල එකිනෙකට වෙනස්‌ වූ අනන්‍යතාවන් සොයා ගැනීම දුෂ්කර කාර්යක්‌ වූවාද?
ඔය චරිතය ඉතාම පිටිසර ගම්බද චරිතයක්‌ තමයි. පොදුවේ ගත්තහම මට ලැබුණ චරිතවල මුරණ්‌ඩු ගති ලක්‌ෂණ තිබිලා තියෙනවා. හැබයි මේ චරිතය එක හා සමාන කියලා මම කියන්නේ නැහැ. මේ හැම චරිතයකම එකිනෙකට වෙනස්‌ තැන් තියලා තියෙනවා.

යශෝදා කියන්නේ වෘත්තීය විදිහට රංගනය තෝරාගෙන සිටින නිළියක්‌ද ?
මම වෘත්තියක්‌ වශයෙන් රංගනයේ නිරත වෙන්න කැමැති කෙනෙක්‌. අද තියෙන තත්ත්වය අනුව අපිට රංගනයෙන් විතරක්‌ ජීවත්වෙන්න බැරි තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා. මට යම්කිසි දෙයකින් ඉගැන්වීමේ හැකියාව ලැබිලා තියෙනවා ඒ නිසා මම ගුරුවරියක්‌ විදිහට වැඩ කරනවා. ඒ අතරතුරේ යම්කිසි හොද නිර්මාණයක්‌ ලැබුණොත් නිවී හැනහිල්ලේ දායක වෙන්නත් කැමතියි.

ඔබ ඔය පසවන නිවී හැනහිල්ල අද ටෙලි මාධ්‍ය වලින් තුරන් වෙලා බොහෝ කල් නේද?
අද බොහෝ වෙලාවට නළු නිළියන් එක දවසට එකක ඉදලා තව එකකට යනවා. මං හිතන්නෙ එහෙම රංගනයේ යෙදෙන්න අමාරුයි. හැම විටම අපි එක නිර්මාණයක ඉන්න නිසයි නිවි සැනහිල්ලේ සාකච්ඡා කරල ඒකට ඔළුව යොදලා ඒ කාර්යය හරියට කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. රංගනයේ යෙදෙන කෙනෙකුට මානසික නිදහසක්‌ තියෙන්න ඕනෑ. ඒක යාන්ත්‍රිකව කරන්න බැහැ. අපි හැමවිටම මනසින් හිතලයි චරිතයක ගතිලක්‌ෂණ අඛණ්‌ඩව පවත්වාගෙන යන්න ඕනෑ.

එක නිර්මාණයකින් ජනප්‍රිය වන විට තවත් නිර්මාණ රැසක්‌ ලැබෙන එක සාමාන්‍යයි. ඔබටත් එසේ ඇරයුම් ලැබුණාද ?
මට නිර්මාණයට දායක වෙලා ඉද්දි තවත් නිර්මාණයකට ඇරයුම් ලැබුණා. ඒ වෙලාවෙදී මම මේ නිර්මාණය එක්‌ක ඉන්නෙ කියලා ඒ මොහොතේ එම අධ්‍යක්‌ෂවරයාට පවසනවා අපි මේ නිර්මාණය ඉවර වුණාට පස්‌සේ එම නිර්මාණය ගැන කතා කරමු කියලා.

අද කාලෙ එකිනෙක පරයන රූසිරි මවන්න නිළියන් අතර තියෙන තරගයේද ඔබ සිටින්නේ?
පෙනුම පිළිබඳ අපි අනිවාර්යෙන් හිතන්න ඕනැ. හැබැයි මම ඒ ගැන හිතන විදිහක්‌ තියෙනවා. උදාහරණයක්‌ විදිහට මගේ සමේ පැහැය ගත්තොත් මට තියෙන්නෙ සුදු හමක්‌ නෙවෙයි. රූපවාහිනියේ නිතර දකින්න ලැබෙන්නෙ සුදු හමක්‌ තියෙන නිළියන් කියලා මම ඒ පැහැය ගන්න යන්නේ නෑ. ඒක ගන්න බැරි කමකුත් නැහැනේ. මම මගේ දේවල් වෙනස්‌ කරගන්න යන්නේ නැහැ . නිර්මාණ අතින් බලද්දි නිළියක්‌ විදිහට පවතින්න මගේ හැකියාව හොද තැනක තියෙනවා කියලා මම හිතනවා.

ඔබගේ පෞද්ගලික තොරතුරු පවසනවා නම් ?
මම පදිංචි වෙලා ඉන්නෙ බොරලැස්‌ගමුවේ. මම රංගනයට අමතරව පෞද්ගලික පාසලක ගුරුවරියක්‌ ලෙස සේවය කරනවා. මට අක්‌ක කෙනෙක්‌ සහ නංගි කෙනෙක්‌ ඉන්නවා. මෑතකදී අපේ තාත්තා මියගියා. දැන් අපි ජීවත් වෙන්නේ අම්මත් එක්‌ක.

ධම්මිකා සුරංජි පතිරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *