“ගුවන් යානයෙන් මාව බිමට බැස්සුවේ බලවන්තයෙක්”..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු අලි පැටියකු ළඟතබා ගැනීමේ චෝදනාව මත පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට නඩු පවරනු ලැබීය.

ඒ සමඟම විදෙස්ගතවීම ද තහනම් කරනු ලැබීය. එසේ වුවද උන්වහන්සේට අවස්ථා කිහිපයකදී ම ධර්මදානය සඳහා විදෙස්ගත වීමට අධිකරණයෙන් අවසරය ලැබුණු බව මාධ්‍ය වාර්තාකර තිබිණි.

නමුත් පසුගිය සතියේදී ධර්මදානය සඳහා විදෙස්ගත වීමට ගුවන් යානයට ද වැඩම කර සිටි උන්වහන්සේ යළිත් යානයෙන් බිමට වඩම්මවනු ලැබීය. බෞද්ධයන් තුළ විශාල කුතුහලයක්, කම්පනයක් ඇති කළ එම සිදුවීම පිළිබඳව අප පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගෙන්ම විමසා සිටියෙමු.

එම සිදුවීම පිළිබඳව හා එහි පසුබිම පිළිබඳ ව උන්වහන්සේ පළකළ අදහස් පහත පරිදි වේ.

ප‍්‍රශ්නය- ඔබ වහන්සේ ධර්මදානය සඳහා විදේශගත වීමට සූදානම් වූයේ අධිකරණයේ නිසි අවසරයකින් නොවේද?

පිළිතුර- පසුගිය නඩු දිනයේදී අපි ඉතා පැහැදිළිව ඉල්ලීමක් කළා විදේශ ගතවීම සඳහා ජුලි 26 වැනි දින සිට අගෝස්තු 10 වැනි දින දක්වා එම අවසරය ලබා ගන්නා ලෙස මම මගේ නීතිඥයන්ට දැනුම් දුන්නා. නමුත් එම අවස්ථාවේදී සන්නිවේදනයේදී ඇතිවූ කුමක් හෝ හේතුවක් නිසා නීතීඥ මහතුන් විසින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙන්නේ අගෝස්තු 26 සිට සැප්තැම්බර් 10 වැනිදා දක්වා තමයි.

අධිකරණයේදී කතා කරන දේවල් මම සිටිය ස්ථානයට හොඳින් ඇසෙන්නේ නෑ. කෙසේ වුවත් මම ඒ පිළිබඳව දැනුවත් වී සිටියේ නෑ. එම නිසා සැලසුම් කරගත් පරිදි මම ගුවන් තොටුපළට ගියා. එම අවස්ථාවේදී විගමන අංශයෙන් මට දැනුම් දුන්නා විදේශගත වීම සඳහා නිසි අවසරයක් ලැබී නොමැති බව.

අවංකවම මම හිතන් හිටියේ අධිකරණයෙන් අවසර ලැබුණා කියලා. එම නිසා අධිකරණයෙන් අවසර ලැබුණ බවත්. ඒ පිළිබඳව සොයා බලන ලෙසත් මම එම නිලධාරීන්ට කිව්වා ඒ වගේම අවසර දෙන්නේ නැතිනම් මම ආපසු යෑමට සූදානම් බවත් සඳහන් කළා. එම නිලධාරීන් බොහෝම හිතෛෂීව උත්සාහ කළා මාව පිටත් කරන්න. ඒ අනුව එම නිලධාරීන් පැය කිහිපයකට පසු මට දැනුම් දුන්නා ඔබ වහන්සේට යන්න පුළුවන් කියලා.

ඉන් පසුව මගේ ගමන් බලපත‍්‍රයට සීල් ගහල ගුවන් යානය දක්වාම යෑමට අවශ්‍ය කටයුතු සැලැස්වූවා. මම ගුවන් යානාවේ වාඩි වෙලා කෝපිත් බිව්වා. දොරවල් වහල ගුවන් යානය පිටත්වීමට සූදානම් වුවත් යළිත් යානය තිබුණ ස්ථානයට ගත්ත බව මට පැහැදිලි වූවා. එම අවස්ථාවේදී ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ කෙනෙකුගෙන් මම ඇසුවා ‘ඇයි ගුවන් යානය ආපසු තිබුණ තැනට ගත්තේ’ කියලා. එම පුද්ගලයා පැවැසුවා ගුවන් මගියෙකු බැස්සීමට තිබෙන බව. බස්සන්න ඕන මගියා මමද කියල මට සිතුණා.

ඉන්පසුව ගුවන් යානය නවත්වා පඩි පෙළ යළිත් සම්බන්ධ කළපසු නිලධාරියකු ගුවන් යානය තුළට ඇවිත්, ඔබවහන්සේට යන්න වෙන්නෙ නෑ. එම නිසා ගුවන් යානයෙන් බසින්න කියල පැවැසුවා. මම බහින කොට ගුවන් යානයේ පහළ නිලධාරීන් සහ ආරක්‍ෂක අංශයේ විශාල පිරිසක් සිටියා. ඇත්තටම එතන සිද්ධ වූයේ මම හොරෙන් යන්න ගිහින් අහුවෙලා එළියට දැම්මා වගේ වැඩක් තමයි.

එදා ගුවන් තොටුපළේදී ඊටත් වඩා කනගාටුදායක දෙයක් සිද්ධ වූවා. අපි කොහේ ගියත් උපාසක උපාසිකාවන් ළමයින් අපිට වඳිනවා. පිරිත් නූල් ඉල්ලනවා. ඒ දේවල් එදා ගුවන් තොටුපළේදීත් සිද්ධ වූවා. නමුත් විශේෂත්වය වූයේ ඒ සෑම දෙයක්ම වගේ විදේශීය යුවළක් විසින් බලන් සිටීම තමයි. මම ඔවුන්ට පැවසුවා ඒක තමයි අපේ සම්ප‍්‍රදාය කියලා. ගුවන් යානයේදීත් එම යුවළ වාඩිවෙලා සිටියේ මගේ ආසනයට පිටුපස අසුනෙ.

මම අසුන් ගැනීමෙන් පසුව ඔවුන් මගේ ළඟිට ඇවිත් අපට දෙන්න දෙයක් නෑ එම නිසා මේවා දෙන්නද කියල රු 600 පමණ අපේ රටේ මුදල් පෙන්නුවා. මම කිව්වා කැමැත්තක් කියලා. එම යුවළත් මට මුදල් පිළිගන්වලා වැන්දා. විදේශිකයන් පවා ඒ තරමට භික්‍ෂූන් වහන්සේලාට ගෞරව කරනවා. එසේ තිබියදී යළිත් ගුවන් යානය නවතා භික්‍ෂූන් වහන්සේලා බස්සන කොට එම විදේශිකයන්ට භික්‍ෂූන් වහන්සේලා ගැන මොනව හිතෙනව ඇත්ද?

අනෙක් අතට ගුවන් යානයක දොරවල් වහල පිටත්වෙන්න සූදානම් වූ පසුව යළිත් නැවැත්වීම සඳහා විශාල වැඩපළිවෙළක්, සැලැසුමක් අවශ්‍ය වනවා. බලවත් කෙනෙකුට හැර සාමාන්‍ය කෙනෙකුට එහෙම දෙයක් කරන්න බෑ.

ප‍්‍රශ්නය- ඔබ වහන්සේ අගෝස්තු 01 වැනිදා විදේශගත වනවා.ඒ සඳහා අවසර ලැබුණේ කෙසේද?

පිළිතුර- අවසර ලබා ගැනීම සඳහා අපි අධිකරණයට කරුණු ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවන් සඳහන් කළා විනිසුරුවන්ට හෝ කාර්ය මණ්ඩලයට කිසිදු වැරදීමක් සිද්ධ වී නොමැති බව. විනිසුරුවන් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. අධිකරණයට පණිවුඩය ආපු විධියේ වැරැද්දක් සිද්ධ වී ඇති බව සියලූ දෙනා පිළිගත්තා.

මහාධිකරණයට ගිය දිනයේ සිට මට කිසිදු අසාධාරණයක් අයුක්තියක් සිද්ධ වූයේ නෑ. නමුත් ආණ්ඩුව විසින් මම මහාධිකරණයට ගිහින් දැමීම වරදක්. මට එල්ල කරල තිබෙන්නේ අසාධාරණ චෝදනාවක්. මේක දේශපාලන පළිගැනීමක්ම තමයි. ඒ සඳහාම තමයි මට මේ චෝදනාව එල්ල කළේ.

මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී නම් මට අසාධාරණකම් සිද්ධ වූවා. මම දන්න තරමින් ඔවුන් කි‍්‍රයාත්මක කළේ නීතිය නොවෙයි. නමුත් මහාධිකරණයේ දී එහෙම තත්ත්වයක් ඇති වූයේ නෑ. එම නිසා මෙම අවසරය ලැබුණා.

ප‍්‍රශ්නය- ඔබ වහන්සේ සඳහන් කළා ඔබ වහන්සේව ගුවන් යානයෙන් බැස්ස වීම සඳහා විශාල වැඩපිළිවෙළක් සැලසුමක් කි‍්‍රයාත්මක වී ඇති බව. ඒ වගේම ඔබ වහන්සේ සඳහන් කළා බලවත් කෙනෙකුට මිස වෙන පුද්ගලයකුට එහෙම දෙයක් කළ නොහැකි බව. එහෙම චෝදනාවක් කිරීමට හේතුව කුමක්ද?

පිළිතුර- මම හැරෙන හැරෙන පැත්තට දේශපාලන පලිගැනීම් වලට ලක්වෙනවානේ. මේ ආණ්ඩුවේ ඉන්න එක්කෙනෙකුවත් තමන් භාර ගත්ත වගකීම හරියට කරනවාද කියලා බලන්නෙ නැහැනේ. නමුත් ඒ අය වෛරයෙන් පසුවන අය ඉලක්ක කරගෙන රිදවන්න පළිගන්න අවශ්‍ය කටයුතු නම් හරියට කරනවා. ඒ නිසා තමයි මේ රට අසාර්ථක වී තිබෙන්නේ. නීති විරෝධී යම් කටයුත්තක් සිද්ධ වී තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම සඳහා නීතියට භාරදීලා තමන්ගේ වගකීම දේශපාලනඥයන් හරියට ඉෂ්ට කළා නම් මෙහෙම තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මෙතෙක් සිද්ධ වෙච්ච දේ අනුව එදා ඒ ආකාරයට කටයුතු කරන්න ඇත්තේ රජයේ ප‍්‍රධානියෙක්ය යන සාධාරණ සැකය මට ඇති වෙනවා.

ඒ අය සිතනවා ඇති මේ වගේ සිද්ධිවලට බයවෙලා අපි පස්සට යාවි කියලා. ඒක හරි බොළඳ සිතුවිල්ලක්. මොකද භික්‍ෂූන් වහන්සේ නමකට නැතිවෙන්න දෙයක් නෑ. මම ඇලන්මැතිනියාරාමයට ආවෙත් නිදහසේ ඉන්න. මේක මගේ පන්සලක් නෙවෙයි. මෙහෙම ඉන්න කොට රට, ජාතිය වෙනුවෙන් කරන ඕන දෙයක් කරන්න පුළුවන්. මට ඒ නිදහස තිබෙනවා.

මොන නඩු දැම්මත් මගේ තරහක් වෛරයක් නෑ. නමුත් පස්සට යන්නෙත් නෑ. රට වෙනුවෙන් කළයුතු දේ කරනවා. ඒකට සමහර අයට රිදෙයි. ඒකට නම් කරන්න දෙයක් නෑ.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේගේ කටයුතුවලට බාධා කිරීමට ඔවුන්ට තිබෙන අවශ්‍යතාවය කුමක්ද?

පිළිතුරු – ඌරන් කැකුන තලන කොට, හබන් කුකුළන්ට මඟුල් කියලා කතාවක් තිබෙනවා. ඒ වගේ එක් පිිරිසක් අපට ඉලක්කයක් තියාගෙන පහර දෙනකොට, තවත් ඉලක්ක තිබෙන අය ඉන් වින්දනයක් ලබනවා. අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්න හදනවා. මම දකින විධියට මේ රජය සම්පූර්ණයෙන්ම කි‍්‍රයාත්මක වන්නේ, ඒ වගේම සම්පූර්ණයෙන්ම සහයෝගය ලැබෙන්නේ විදේශීය ඔත්තු සේවාවලින්. ඔවුන් කියන දේ රූකඩයක් වගේ කරන එක පමණයි මේ අයට තිබෙන්නේ.

මේ රටේ හමුදාව ශක්තිමත් වීම, රටේ සංවර්ධනයට දායක වීම ජාත්‍යන්තරයේ හිත රිදීමට හේතු වූවා. මම දන්න විදියට ඇමරිකාවත්, ඒ රටේ ජනතාවත් බොහොම සුන්දරයි. මේ ආකාරයට අපගේ කටයුතුවලට මැදිහත් වන්නේ එක්තරා කොටසක් පමණයි. ඇමරිකාව ඇතුළුව ලෝකයේ සෑම රටකම ප‍්‍රශ්න ඇති වූ විට, එම රටවල් ගොඩනැන්වීම සඳහා සම්පූර්ණයෙන්ම හමුදාව මැදිහත් වී තිබෙනවා. කාම්බෝජය, වියට්නාමය වගේ රටවල් විනාශ වූ විට, එම රටවල් සංවර්ධනය කිරීමේදී හමුදාව සුවිශේෂ කාර්යය භාර්යක් ඉටුකර තිබෙනවා. අපගේ රට තුළත් එම තත්ත්වය ඇති වූවා. එම තත්ත්වය වැළැක්වීමට තමයි හමුදාවේම එක් අයකු එළියට අරන් කුමන්ත‍්‍රණයකුත් කළේ. නමුත් ඒක සාර්ථක වූයේ නෑ. එය අසාර්ථක වීමෙන් පසු අවස්ථාවාදී දේශපාලනඥයන් අල්ලාගෙන රටට බොරු කියල බලය ලබා ගත්තා. දැන් මේ ආණ්ඩුව කරන අය ඒ අයට බලය ලබාගැනීමට උදව් කළ බලවේග කියන කියන එක කරනවා.

එම බලවේගයන් කරන ඉල්ලීම් දෙකක් තිබෙනවා. එකක් තමයි හමුදාව දුර්වල කරපන් කියන එක. අනික තමයි ධර්මය සහ භික්‍ෂූන් නැති කරපන් කියන එක. එම කටයුත්තට ජනතාව අතර සිට සහයෝගය දීමට තමයි රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවල තියෙන්නේ.

එම රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවල තිබන්නේ මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් තිබෙනවා කියලා කියවගන්න. නමුත් මේ රටේ ජාතික ප‍්‍රශ්නයක් නෑ. මේ රටේ මුස්ලිම් ප‍්‍රශ්නයක් නෑ. මේ රටේ මුස්ලිම් ප‍්‍රශ්නයක් ඇති කළේ, ඒක පෙන්නල මේ රට පික් පොකට් ගැසීම සඳහා තමයි. මුස්ලිම් සහ සිංහල ජනතාව ඉතාම සමගියෙන් ජීවත් වූවා. මේ රට විනාශ කිරීම සඳහා තමයි අපව භේද කළේ.

ලෝකය පුරා සිද්ධවෙන දේවලින් පෙනී යනවා අධිරාජ්‍යවාදී බලවේග මුස්ලිම් ජනතාව විනාශ කිරීමට කටයුතු කරන බව. මේ රටේ දී මුස්ලිම් අයයි, අපවයි දෙගොල්ලොම විනාශ කිරීමට කටයුතු කරනවා. ඉතා තියුණු කුමන්ත‍්‍රණ බලවේගයක් විසින් සිංහල සහ මුස්ලිම් ජනතාව එම තත්ත්වයට පත් කළා. එහිදී රාජ්‍ය නොවන සංවිධාන විශේෂ වැඩ කොටසක් කර තිබෙනවා. මිල මුදල් සඳහා මේවා කරන අයත් සිටිනවා.

එම සැලසුම තමයි භික්‍ෂූන් වහන්සේලා සහ හමුදාව විනාශ කිරීම.

ප‍්‍රශ්නය – ඔබ වහන්සේ දිගින් දිගටම අධිරාජ්‍යවාදී බලවේගයක් පිළිබඳව සඳහන් කරනවා. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරනවා නම්,

පිළිතුර – බටහිර අධිරාජ්‍යවාදීන් පළමුවෙන්ම අපේ රටට ගොඩ බැස්සේ 1505 දී. පළමුවෙන්ම පෘතුග‍්‍රීසීන් ආ බවත්, දෙවනුවට ලන්දේසින් ආ බවත්, ඉන් පසුව ඉංග‍්‍රීසීන් ආ බවත් කවුරුත් දන්නවා. මේ තුන් ගොල්ලන්ගෙන්ම ඉතා සූක්‍ෂමව ක‍්‍රියාත්මක වූයේ ඉංග‍්‍රීසීන් තමයි.

පෘතුග‍්‍රීසීන්ට හෝ ලන්දේසීන්ට අපේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීමට බැරි වූවා. ලන්දේසීන් පාලනය කළ ප‍්‍රදේශ ඉංග‍්‍රීසීන් අල්ලා ගත්තත් ඔවුන්ටත් මේ රට සම්පූර්ණයෙන්ම යටත් කර ගැනීම ඉතා අපහසු වූවා. ඉංග‍්‍රීසීන්ට මේ රටම යටත්කර ගැනීමට නොහැකිව ඉන්න කොට, එංගලන්තයේ පාලකයා මෙරට සිටිය ආණ්ඩුකාරයට ලිපියක් එවලා තිබෙනවා. ඒ ගැන කරුණු විමසලා. මේ තරම් පොඩි ජනගහනයක් ඉන්න පොඩි රටක් තවම අල්ලගන්න බැරිවූයේ ඇයිද කියන එක තමයි එම ලියුමෙන් විමසල තියෙන්නේ. ආණ්ඩුකාරයා ඊට පිළිතුරු ලිපියක් යවමින් සඳහන් කරලා තිබෙනවා. මේ රටේ සිටින මිනිසුන් හරිම සමගියෙන් ජීවත් වනවා. ඒ වගේම ධනවත්. එම නිසා අපි දෙන දෙයක් ගන්නේ නැති බවත් ඒ වගේම කහ සිවුරු පොරවාගත් හාමුදුරුවන් ඔවුන්ට උපදෙස් දෙන බවත්, එම නිසා මෙම රට තවම යටත් කර ගැනීමට නොහැකි වූ බව එම ලිපියේ සඳහන් කරලා තිබෙනවා.

ඉන් පසුව තමයි ඉංග‍්‍රීසීන් මේ රට කුමන්ත‍්‍රණකාරී ලෙස යටත් කර ගැනීම සඳහා සැලසුම් සකස් කරන්නේ. එම සැලසුමට අනුව තමයි ජෝන් ඩොයිලි මේ රටට එන්නෙ. ජෝන් ඩොයිලිල ක‍්‍රියාත්මක කළ කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙලේ ඉතිරි ටික තමයි දැන් සිටින පාලකයන් ක‍්‍රියාත්මක කරන්නේ. ඉංග‍්‍රීසීන් ඇතුළු අධිරාජ්‍යවාදීන් කළ විනාශයේ ඉතිරි ටික තමයි මේ කරන්නේ.

එක් ජනනායකයෙක් මමත් සමග සඳහන් කළා සිංහල බෞද්්ධයන්ට මේ තරම් හිරිහැර කරන්නේ වසර 70 කට පසුව කියලා. එහෙම තත්ත්වයක් තමයි දැන් රටේ තිබෙන්නේ.

– එරික් ගාමිණී ජිනප‍්‍රිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *