දින 11ක ජීවන සටනෙන් කරුණානිධි පරාජය වෙයි..

DMK පක්ෂය නියෝජනය කරමින් පස්වරක් තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ධූරය දැරූ එම්.කරුණානිධි අභාවප්‍රාප්ත වූ බව මීට සුළු මොහොතකට පෙර ඔහු ප්‍රතිකාර ලබමින් සිටි රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

මියයන විට කරුණානිධි පසුවූයේ 94 වියේයි.

හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පසුගිය දා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කළ අතර ජීවිතයත් මරණයත් අතර දින 11ක සටනකින් පසුවයි ඔහු දිවියෙන් සමුගත්තේ.

රෝහල් බලධාරීන්ට අනුව අද සවස 6.10ට ඔහු මරණයට පත්ව තිබෙනවා.

පසුගිය පැය 24 තුළ ඔහු බහු අවයව අකර්මන්‍යතාවකට ලක්වූ බව ද ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

කරුණානිධි ඉන්දියාවේ ජ්‍යෙශ්ඨතම දේශපාලනඥයෙකුවන අතර ඔහු තමා නියෝජනය කළ DMK පක්ෂ නායකත්වය ද දැරුවා.

දශක 6ක කාලයක් තමිල්නාඩු දේශපාලනයේ ක්‍රියාකාරී චරිතයක් ලෙස කටයුතු කළ කරුණානිධි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශ රැසක් සිදුකළ පුද්ගලයෙක්.

ශ්‍රී ලංකාව තුළ ඊළාම් රාජ්‍යයක් ස්ථාපිත කළ යුතුබවට වූ මතයට සහය පළකළ පුද්ගලයෙකු ලෙසින් ද ඔහු හැඳින්විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *