මරණ දඬුවම නියම කළ බුද්ධි අංශ වීරයාගේ කතාව !

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරලා දුන්න මගේ මහත්තයා ඇත්තටම හීරෝ කෙනෙක්. එයා අවුරුදු එකොළහක් යාපනෙ බුද්ධි රාජකාරි කළා.

එයා ඇත්තටම දක්ෂයෙක් නිසා තමයි කැප්ටන් කාලෙදීම යාපනේ එස්.අයි.ඕ. (‍‍‍ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරි බවට පත් කළේ. කර්නල් මුතාලිෆ්ව එල්.ටී.ටී.ඊ.ය මැරුවට පස්සේ රාජමන්ත්‍රීටත් එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන් ෆයිල් එකක් ඇරලා කියලා බුද්ධි අංශ අනතුරු ඇඟෙව්වා. අපි කසාද බැඳලා මාවනැල්‍ලේ ගේ හදාගෙන ගිහිල්ලා අවුරුද්දක්වත් ඉන්න ලැබුණේ නැහැ.

රාජාව ඉලක්ක වෙලා තිබුණ නිසා අපේ පවුලම මරයි කියලා අපි නුවර මහගෙදරට ආවා. මොන තර්ජනය ආවත් එයා රට වෙනුවෙන් කරන්න ඕන දේ උපරිමයෙන්ම ඉටු කළා.

රට වෙනුවෙන් ජීවිතයම පූජා කරපු ඒ වීරයාට අද මරණීය දණ්ඩනය දීලා. මමයි මගේ දරුවෝ තුන්දෙනයි මේ නිසා අසරණ වුණා. අද අපේ දෙවැනි දුවගේ අවුරුදු නවයේ උපන් දිනය. මට කේක් කපන්න තාත්තා ඕන කියලා දුව තාත්තව හොයනවා. මගේ දුවට තාත්තට මරණීය දණ්ඩය නියම වුණා කියන්නේ කොහොමද..?

යැයි ත්‍රිකුණාමල මහාධිකරණය මගින් මරණීය දණ්ඩනය නියම කළ සන්නද්ධ බුද්ධි බළකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීගේ බිරිඳ වන ගීතාංජලී ගුණතිලක මහත්මිය රිවිර ඉරිදා සංග්‍රහයට හැඬූ කඳුළින් ප්‍රකාශ කළාය.

අත්අඩංගුවට ගත් කොටි සැකකරුවකු වූ ඥානසිංහම් ඇන්ටන් ගුණසේකරම්ගේ මරණය සම්බන්ධයෙන් වසර විස්සක් පුරා පැවැති නඩු විභාගයකින් පසුව මෙම තීන්දුව ලබා දුන්නේ ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු එම්. ඉලංච්ෙලියන් මහතාය.

යාපනය, කෝපායි ‍පොලිස් වසමට අයත් තිරුනල්වේලිහිදී රජයේ පාලන ප්‍රදේශවල ක්‍ලේමෝ ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාවට කොටි බුද්ධි අංශයේ ප්‍රබලයකු වූ ඇන්ටන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හදිසියේ අසනීප වීම නිසා රෝහල්ගත කළ පසුව මරණයට පත්වී තිබුණේ 1998 සැප්තැම්බර් 10 දාය.

යාපනය 51 වන සේනාංකයට අයත් 512 බළසේනා මූලස්ථානයේදී එවකට රාජකාරි කළ කනිෂ්ඨ බුද්ධි නිලධාරීන් වූ රොනී බර්තොලමියුස්, ඩික්සන් රාජමන්ත්‍රී, සෙබළ ප්‍රියන්ත රාජකරුණා යන තිදෙනා එවකට කෝපායි ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසුව මාස අටක් පමණ රිමාන්ඩ් භාරයේ තබා තිබිණි. ඉන්පසුව ඇප ලබා යළි සක්‍රීය සේවයට එක් වන මෙම බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා සහ සාමාජිකයා කොටි ත්‍රස්තවාදයට එරෙහිව උතුරු, නැගෙනහිර හා වන්නියේ සුවිශේෂ බුද්ධි මෙහෙයුම්වල නිරත වූහ.

යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයේ වසර ගණන් ඇදෙමින් තිබූ නඩු විභාගයට පෙනී සිටීමේදී එල්ල වන කොටි තර්ජන නිසා මෙම නඩු හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ලැබුවේය.

මෙම නඩුව විභාග වන අතරේ නීතිපති විසින් අධිචෝදනා ඉදිරිපත් කළ පසුව සැකකාර හමුදා නිලධාරීන්ගේ ඉල්ලීම මත නඩුව ත්‍රිකුණාමල මහාධිකරණයේ මෙම නඩුව විභාගයට ගනු ලැබුවේය. මෑත කාලයේ යාපනයේ ජනතාවගේ හිත දිනාගත් යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලංච්ෙලියන් මහතා ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු ලෙස පත්ව පැමිණීමෙන් පසුව එම නඩු විභාගය ඔහු යටතේ ගැනෙන්නේය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම නඩුවේ තීන්දුව ලබා දීමට තිබුණේ පසුගිය බදාදා (08)ය.

එදා නඩු විභාගයට සහභාගිවීමට මේජර් රාජමන්ත්‍රී මහනුවර පිළිමතලාවේ නිවසින් පිටව යන්නේ “බයවෙන්න එපා ‍පොඩි, මම වරදක් කරලා නැහැනේ. අපි මේ නඩුවෙන් බේරෙනවා” කියාය. බිරිඳගේ ආශීර්වාදය මැද ත්‍රිකුණාමල තමා උපන්ගමේ නඩු විභාගය පැවැත්වෙන මහාධිකරණය වෙත මේජර් රාජමන්ත්‍රී ඇතුළු නිලධාරිහු පැමිණෙන්නේ දහසක් බලා‍පොරොත්තු මැදය.

මහාධිකරණ විනිසුරු එම්. ඉලංච්ෙලියන් මහතා නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නඩුවේ චෝදනා ලබා සිටි සැකකරුවන් තිදෙනාගෙන් පළමු විත්තිකරු වූ කර්නල් රොනී බර්තලමියුස් සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබිය. මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා සැරයන් ප්‍රියන්ත රාජකරුණා හට මරණ දඬුවම නියම කරනු ලැබිය.
කොටි ත්‍රස්තවාදීන්ගේ ජීවිත තර්ජන මැද උතුරු නැගෙනහිර ජනතාව කොටි ග්‍රහණයෙන් මුදවා ගන්නටත්, රටේ ඒකීය භාවය රකින්නටත් සුවිසල් මෙහෙවරක් කළ මෙකී බුද්ධි අංශයේ විරුවන් හට තිරුණල්වේලි සිදුවීමෙන් විසි වසරකට පසුව මෙලෙස මරණීය දණ්ඩනය නියම වන්නේය. හමුදා බුද්ධි අංශ දඩයම් කරන්නට ගෙන යන දෙමළ ඩයස්‍පෝරා සටන අතරේ මෙම සිදුවීමත් වාර්තා වන්නේය.

රුදුරු කොටි ත්‍රස්තවාදී නායකයා වූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන්ගේ ඊළාම් රාජ්‍ය සිහිනය සැබෑ කිරීමට යාපනය අර්ධද්වීපය අල්ලා ගන්නට යුද සැලසුම් ක්‍රියාත්මක කරද්දී ප්‍රභාකරන්ගේ යුද සැලසුම් දියාරු කරන සන්නද්ධ බුද්ධි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

යාපනය අර්ධද්වීපය තුළ ත්‍රස්ත මෙහෙයුම් සැලසුම් කරන ටොසී ඔත්තු සේවාවේ නායක ශිවශංකර් ‍පොට්ටුඅම්මාන්ගේ බුද්ධි ජාලයට එරෙහිව ක්‍රියාත්මක වූ දක්ෂ නිලධාරියකු නිසා කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ්ගෙන් පසුව ප්‍රධාන ඉලක්කයක් වී සිටියේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

ලෝකයේ ඕනෑම රටකින් කොටින්ගේ ආයුධ නැවක් පිටත් වූවා නම් නැව පිටත් වූ තැන සිට නැව ගොඩබාන්නට එන තැන දක්වා තොරතුරු කල්තියාම ඩික්සන් රාජමන්ත්‍රීට ලැබුණේය. ඒ ඔහුට දෙස් විදෙස් කොටි ඔත්තු ජාලයට රිංගා යන ඔත්තුකරුවන් සිටි දක්ෂ බුද්ධි නිලධාරියකු නිසාය. කර්නල් මුතාලිෆ්, කර්නල් මිඩින්, බ්‍රිගේඩියර් සුරේෂ් සෙලෙයි වැනි බුද්ධි අංශයේ පතාක යෝධයන්ගෙන් පසුව නමක් රැන්දු නිලධාරීන් අතර ඉහළින්ම සිටියේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රීය.

කොටින්ගේ අවි ආයුධ නැව් කොටු කරන්නට දැක්වූ දක්ෂතාව නිසාම බුද්ධි බළකාය තුළ රවි යන අන්වර්ථ නමින් පෙනී සිටි රාජමන්ත්‍රී ‘නැව් රවී’ යන නමින් ප්‍රසිද්ධියට පත් වූවෙකි. අවුරුදු එකොළහක්ම යාපනය අර්ධද්වීපය රකින්නට දිගු බුද්ධි මෙහෙවරක් කළ රාජමන්ත්‍රී 1998 කෝපායි ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර ඇප මත නිදහස් වූ පසුවත් යාපනය රකින්නට කැපවී ක්‍රියා කළේය.

“මට මොන තීන්දුව දුන්නත් මම මේ රට වෙනුවෙන් වැඩ කරනවා” යැයි මේජර් රාජමන්ත්‍රී තම සගයන්ට නිතරම කී නිලධාරියෙකි. බුද්ධි බළකායේ සෙබළුන්ගේ හදවතට රිංගා සෙබළුන්ගේ දුක සැප හඳුනාගත් නිසාම රාජමන්ත්‍රීට දුන් තීන්දුවත් සමග සමස්ත බුද්ධි අංශයම සලිත වී ගොස් ඇත්තේය.

සංග්‍රාමික පදක්කම්, මුදල් පසුපස හඹා නොගිය මේජර් රාජමන්ත්‍රී සිව්වැනි ඊළාම් යුද්ධයේදීත් සුවිශේෂ මෙහෙවරක් ඉටු කළ නිලධාරියෙකි.

යාපනයේදී මෙන් වැලිඔය සිට මුලතිව් බලා යන සටනේදීත් අපට මුණගැසුණු නිහඬ චරිතයක් වූ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී මුලතිව් රකින්නට කළ මෙහෙවර අප දන්නේ 59 වන සේනාංකාධිපතිව සිටි මේජර් ජෙනරාල් නන්දන උඩවත්තට නැතිවම බැරි වුණු බුද්ධි නිලධාරියා ලෙස රාජමන්ත්‍රී සිටි නිසාය.

අප යුද්ධයේ තොරතුරු දැන ගන්නට මේජර් ජෙනරාල් උඩවත්තට කතා කරන හැම මොහොතකම රාජා යැයි කියමින් රාජමන්ත්‍රීට අනෙක් දුරකථනයට ගෙන සැබෑ තොරතුරු ලබා දෙන්නට මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත පියවර ගත්තේ රාජාගේ තොරතුරු ජාලය ප්‍රබල නිසාය.

වැලිඔය සිට මුලතිව් ගණ කැලෑවේ ඉන්දියන් සාමසාධක හමුදාවට පවා අත් කර ගන්නට නොහැකි වූ වන් ෆෝ බේස් කඳවුරු සමූහය අත්පත් කර ගනිමින් මුලතිව් බලා යන්නට සිව්වැනි ඊළාම් යුද්ධයේදී 59 වන සේනාංකයට ප්‍රබල පිටුවහලක් වූයේ මේජර් රාජමන්ත්‍රී බුද්ධි මෙහෙයුම්ය.

කොටි ත්‍රස්තයන් 59 වන සේනාංකයේ යම් කිසි තැනකට ප්‍රහාරයක් එල්ල කරන්නට කොතැනකදී හෝ සැලසුම් කළේ නම් එම ප්‍රහාරයට පැය හතළිස් අටකට පෙර හරියටම ඉලක්ක ගත තැන පවා තම ප්‍රධානීන්ට ලබාදී ප්‍රහාරයන් අඩපණ කරන්නට හැකි බුද්ධි ජාලයක් මොහු යටතේ ක්‍රියාත්මක වූයේය. තම බළඇණිවලට කල්තියාම අනතුරු හඟවා සතුරාට මුහුණදීමට 59 වන සේනාංක ප්‍රධානීන්ට හැකි වූයේද මෙම බුද්ධි තොරතුරු නිසාය.

වසර දොළහක පෙම් සබඳතාවකින් පසුව තම අනාගත සහකාරිය කරගත් ගීතාංජලීට පවා බුද්ධි මෙහෙයුම් තියා තමාට එරෙහිව ඇති නඩුවේ වැඩි තොරතුරුවත් නොකීයේ එයද තම රාජකාරියට අදාළ වූ දෙයක් නිසාය.

2005 දී විවාහ දිවියට පත්වීමෙන් පසුව මාවනැල්‍ලේ ඉඩමක් ගෙන බැංකු ණයකින් නිවසක් ඉදි කළද ඔවුන්ට එම නිවසේ රැඳෙන්නට වූයේ වසරක් පමණි. 2006 ජනවාරියේදී මාවනැල්‍ලේ තම සිහින කැදැල්ල අතහැර දමා රාජමන්ත්‍රීටත් ගීතාංජලීටත් මහනුවරට යන්නට සිදුවන්නේ ජීවිත ආරක්ෂාව තකාය. ඒ කර්නල් මුතාලිෆ් නාරාහේන්පිටදී කොටි පිස්තෝලකරුවන් විසින් ඝාතනය කළ පසුව කොටි නායක ප්‍රභාකරන් මීළඟ ඝාතන ගොනුව රාජමන්ත්‍රී වෙනුවෙන් විවෘත කිරීම නිසාය.

රාජමන්ත්‍රී වෙනුවෙන් වෙනමම ලිපි ගොනුවක් විවෘත කළ බව බුද්ධි අංශ අනාවරණය කිරීමත් සමග කළ අනතුරු හැඟවීම්වලින් පසුව ඔහුට තම සිහින කැදැල්ල අතැර පිළිතලාවේ බිරිඳගේ මහගෙදරට එන්නට සිදුවූයේ. ඉන් පසුව මාවනැල්‍ලේ නිවස උකස් කර පිළිමතලාවේ නිවසක් ඉදි කරන්නට ණයක් ගත්තේ රාජමන්ත්‍රීගේ වැටුපෙන් මාසිකව රුපියල් දහනව දහසක් කැපී යන්නටය. ගුරුවරියක වූ බිරිඳගේ රුපියල් විසිඅටදහසක වැටුපෙන් තවත් රුපියල් දහඅටදහසක් කැපී යන්නට බැංකු ණයක් ගත්තද නිවස අඩකට වඩා ඉදි කරගත නොහැකි විය.

රාජාට 98දී මේ නඩුව වැටුණත් මම එයාව අතෑරලා නොගියේ එයා රටට වැඩ කරපු හොඳ නිලධාරියෙක් හින්දයි. අපි 2005දී මැරි කරලා කොටි තර්ජන මැද ජීවත් වුණු නිසා අපිට තුන්වැනි දුවට හදාගන්න හම්බ වුණේ වයස අවුරුදු හතළිහේදීයි. ‍පොඩි දුව අවුරුදු තුනයි. ලොකු දුවට දොළහයි. දෙවැනියට අවුරුදු නවයි. මම අද දරුවෝ තුන් දෙනෙක් එක්ක අසරණ වුණා. මට මගේ රාජාව බේරලා දෙන්න කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ. එයා රට වෙනුවෙන් වැඩය කළා මිසක් වැරදි කරපු නැති කෙනෙක් නිසයි. රට වෙනුවෙන් වැඩ කරපු අයට මෙහෙම වුණොත් ආයේ රට වෙනුවෙන් වැඩ කරන්න කවුරුත් ඉදිරියට එන එකකුත් නැහැ. අද එයාගේ වැටුපත් නැවතුණොත් අපිට ණය ගෙවා ගන්න බැරිව තවත් අසරණ වෙනවා” යැයි ගීතාංජලී ගුණතිලක මහත්මිය පවසන්නීය.

මේ රටක් වෙනුවෙන් ‍ලේ දහඩිය හෙළුෑ රණවිරුවකුගේ පවුලකට අත්වූ ශෝචනීය ඉරණමය.
මේජර් රාජමන්ත්‍රී ගතවූ වසර විස්සක කාලය තුළ මෙම නඩු විභාගය තමන් ඉපැයූ වැටුපෙන් එකතු කරගත් මුදලින් ලක්ෂ විස්සක් පමණ නඩුවට වියදම් කර ඇත්තේය. අවසන් නඩුවට ඔහු ගොස් ඇත්තේද බිරිඳගේ තිබූ රන් ආභරණ උකස් කර ලබාගත් රුපියල් පහළොස් දහසක් අරගෙනය. තම බිරිඳ සතු එක්ලක්ෂ හැත්තෑපන්දහසක පමණ රන් බඩු ගතවූ කාලය තුළ උකස් කර නඩුවටම වියදම් කර ඇත.

ඒ රට වෙනුවෙන් කැපවූ නිලධාරියකුගේ පවු‍ලේ ඉරණමය. කෙසේ වුවත් රට වෙනුවෙන් මෙවන් අභීත මෙහෙවරක් කළ නිලධාරියකුගේ පවු‍ලේ අය අසරණ වෙන්නට බුද්ධි බළකා නිලධාරීන් මෙන් වත්මන් හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ඉඩ නොතබනු ඇත.

වන්නි මානුෂීය මෙහෙයුමෙන් පසුව මහනුවර බුද්ධි නිලධාරියා ලෙසින් අනගි මෙහෙවරක් කළ මේජර් රාජමන්ත්‍රී වව්නියාවේ සේවයේ නිරතව සිටියදී යුද හමුදාපති අණින් යළි මහනුවරට කැඳවන්නේ පසුගිය කාලයේ දිගන ප්‍රදේශයේ ඇතිවූ ජාතිවාදී කලබල මැඬපවත්වන බුද්ධි මෙහෙයුම් සඳහාය. ඔහු සතුව ඇති සහජ දක්ෂතාව හා තොරතුරු ජාලය නිසා ඔහුව මහනුවරට කැඳවා තිබුණේය.

ජාත්‍යන්තරය පිනවන්නට බුද්ධි අංශ බිලිගන්නට වෙරදරනා බලවේගවල වුවමනාවට මෙවන් දක්ෂ රණවිරුවන් පාවා නොදෙන්නට රට කරවන්නන් ක්‍රියා කළ යතුව ඇත.

මේජර් රාජමන්ත්‍රීගේ මෙන්ම කෝප්‍රල් රාජකරුණාද දරුවන් තිදෙනකු සිටින බුද්ධි බළකාය වෙනුවෙන් අනගි මෙහෙවරක් කළ අයකු බවද සිහිපත් කළ යුතුය.

යාපනය, මිරුසවිල්හි කොටි පවුලක් ඝාතනය කළ වරදට 2015 ජුනි 25දා ‍පෝරකයට නියම වූ යුද හමුදා දිගුදුර විහිදුම් ඒකකයේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායකද අද රටට අමතක වූ එවන් විරුවෙකි.

ඉතිහාසයේ පටන් බුද්ධි අංශවලට එරෙහිව කළ මෙහෙයුම් නිසා පාඩුවක් සිදුවූයේ සමස්ත රටටය. මි‍ලේනියම් සිටි පාවාදීමේ සිට සියලු පාවාදීම් හමුවේ බුද්ධි අංශ රට වෙනුවෙන් කරන මෙහෙවර අතහැරියේ නැත. රටට එරෙහිව නැගිටින බලවේගවලට ක්‍රියාත්මක වන්නට බුද්ධි අංශ රැකගැනීම රට කරවන්නන්ගේ යුතුකමය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
(රිවිර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *