හිටපු ශ්‍රීලන්කන් සභාපති බොරු කියා සිංගප්පූරුවට ගුවන් යානයක් ගෙන්වාගෙන!..

පැය එකහමාරක ප්‍රමාදයක් නොරිස්සු ශ්‍රීලන්කන් ගුවන් සේවාවේ එවකට හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා රාජ්‍ය දූත පිරිසකට කොළඹට පැමිණීමට තිබෙන බවට මුසාවක් පවසා ගුවන් ගමන් කාල සටහනට පටහැනිව වසර 2014 ජනවාරි 24 දා තම පෞද්ගලික අවශ්‍යතාව වෙනුවෙන් සිංගප්පුරුවට ගුවන් යානයක් ගෙන්වාගෙන ශ්‍රී ලංකාවට පැමිණීමේ පුවතක් ඊයේ (08) ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ අනාවරණය වූයේ ශ්‍රීලංකන් ගුවන් සේවාවේ මෙහෙයුම් පාලක කළමනාකරු ගෝපිත ඉන්ද්‍රජිත් රණසිංහ මහතා කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂි වලින්ය.

අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නීල් උනම්බුව මහතාගේ විමසීම් හමුවේ සාක්ෂිකරු සාක්ෂි ලබාදුන් අතර වැඩිදුරටත් සාක්ෂිකරු පැවසුවේ තම දැනුමට අනුව ශ්‍රීලංකන් ගුවන් සේවා ඉතිහාසය තුළ සභාපතිවරයකු ගුවන් ගමන් කාල සටහනට පටහැනිව ගුවන් ගමන්මාර්ග වෙනස් කළ ප්‍රථම අවස්ථාව මෙය වන බවයි. ක්වාලාලම්පුර් සිට කොළඹ බලා පැමිණීමට නියමිතව තිබුණ යු.එල්. 319 ගුවන් යානයේ ගමන් මාර්ගය වෙනස්කර එම යානය සිංගප්පුරුවට ගෙන්වාගෙන ශ්‍රීලංකාවට පැමිණි බවයි. මෙම ගුවන්යානයේ මගින් එකසිය තිහක් ගමන් කළ බවත් එයින් සිව්දෙනෙකු ව්‍යාපාරික පන්තියේ ගමන් කළ බවත් සාක්ෂිකරු සාක්ෂි දෙමින් පැවසීය.

මෙයාකාරයට ගුවන් යානා කාල සටහනක් වෙනස් කරනුයේ රටේ ජනාධිපතිවරයා වෙනුවෙන් පමණක් ‍බවත් ඊට පටහැනිව මෙය සිදුවී තිබෙන බවත් සාක්ෂිකරු පැවසීය. සාක්ෂිකරු රාජ්‍ය දූත පිරිස ලෙස හැඳින්වූ මගී ලයිස්තුවේ සිටියේ ඇමති ආචාර්ය සරත් අමුණුගම මහතා සහ නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ බිරිඳ බවත් කොමිසමට ලේඛණ ඉදිරිපත් කරමින් සාක්ෂි දෙමින් පැවසීය.

ආචාර්ය අමුණුගම මහතා කිසිම අවස්ථාවක ගුවන්යානයක් අප්‍රමාදව අවශ්‍ය බවට උපදෙස් ලබා දී නැති බව පැවසු සාක්ෂිකරු එය සනාථ කිරීමට කිසිම ලේඛණයක් නොමැති බවත් සාක්ෂි දෙමින් ප්‍රකාශ කළේය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ ශ්‍රීලංකා ගිණුම් හා විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල් වසන්තා ගීගනගේ මෙනවියගෙන් හෙබි ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රීලංකන් කේටරින්, මිහින්ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂිකරු සාක්ෂි දුන්නේය. රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා කොමිසමට සහාය දැක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *