පොලිස් රාජකාරියේ මුල්ම නිවාඩුවට ගෙදරට ගිහින් නොඑන ගමනක් ගිය චන්දිමාගේ කතාව..

පොලීසියේ වලාන දූෂණ මර්දන එක්කයට අනුයුක්තව සේවය කළ 23 හැවිරිදි නවක පොලිස් කොස්තාපල්වරියක බදුල්ල හාලිඇළ ඇගේ නිවස තුළදීම ගෙල කපා ඝාතනය කර සිරුරට ගිනි තබා පිළිස්සීමේ සිදුවීමක් පසුගිය සතියේ වාර්තා විය. ඒ සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කොස්තාපල්වරියගේ පෙම්වතා බව කියන වතු ක්ෂේත්‍ර නිලධාරියෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඒ පිළිබඳ පසුබිම් තොරතුරු සොයායාමේදී අප හමුවේ දිගහැරුණේ මෙවැනි පුවතකි.

ජගුල්ල ගම්මානය පිහිටා ඇත්තේ ඌව කැටවල තේ වතුයාය මායිමේය. වැට මායිමේ වූ පාර කෙළවරේ පිහිටි නිවසේ සිටි චන්දිමා (අවු.23) පුංචි අම්මාගේ නිවසේ කුඩා කල පටන් කල් ගෙවුවාය. ඇයට ගමත් ඌව කැටවල වත්තත් හුරුපුරුදුය. පාසල් ගමන හමාර කරනවාත් සමඟම පරිගණක අධ්‍යාපන පාඨමාලාවක් හැදෑරූ ඇය ඌව කැටවල වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක් වූ තුසිත (අවු.27) සමඟ හාද වී තිබුණි. පුංචි අම්මාත් මිත්තණියත් සමඟ කල්ගෙවූ චන්දිමා ප්‍රියදර්ශනී සිය පෙම් සබඳතාවය පිළිබඳව නිවැසියන්ට පවසා තිබුණි. දෙපාර්ශ්වයේම ආශීර්වාදය ඇතිව පවත්වාගෙන ගිය සබඳතාවය අතරතුර ලද අධ්‍යාපනය අනුව රැකියාවක නිරතවීමේ සිහිනය චන්දිමා දුටුවාය.

ගෝවින්ද චන්ද්‍රසේකරන් (53) නමැති පියාගේ දුක්බර හඬ අසා සිටීමත් වේදනාකාරී විය. මගේ බිරිඳ මාව ද‌ාලා ගිහින් වෙනත් විවාහයක් කරගන්න කොට අපට ළමයි තුන් දෙනෙක් හිටියා. තුන් දෙනාම ගෑනු ළමයි. මේ මරල ද‌ාලා තියෙන්නේ බාලම දුව. අම්මා ද‌ාල යනකොට එයාගේ වයස අවුරුදු 3 යි. මම කුලී වැඩ කරලා දුක් විඳිමින් දූල තුන්දෙනා බලාගත්තා. මගේ අම්මා තමයි දරුවෝ හද‌ාවඩා ගත්තේ. මේ දුව හොඳට ඉගෙන ගත්තා. මගේ පවුලේ අයත් අධ්‍යාපන කටයුතුවලට උදව් කළා.

දුව උසස් පෙළ කරලා ඊට පස්සේ කැටවල දිවි නැගුම ප්‍රජාමූල බැංකුවේ පරිගණක ක්‍රියාකාරිනියක ලෙසත් කැටවල සමෘද්ධි බැංකුවේ ලිපිකාරියක ලෙසත් කටයුතු කළා.ඔහොම ඉන්න කොට තමයි පොලිසියේ රැකියාවට තේරුණේ. කළුතර පොලිස් විද්‍යාලයේ පුහුණුව ලැබීමෙන් පස්සේ විසිර යාමේ උත්සවයට මමත් පවුලේ අයත් ගියා. මම එද‌ා කොච්චර සතුටු වුණාද?අනේ දෙයියනේ කෝ ඒ සතුට?.. යැයි ඉකිබිඳිමින් ඇගේ පියා කතාව නතර කළේ කඳුළු පිසිමිනි.

රජයේ රැකියා කීපයකට ඉල්ලුම්පත්‍ර යොමුකර බලා සිටි චන්දිමාට ආධුනික පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයකට කැඳවීම් ලැබී තිබුණේය. රැකියාවක නිරත වුවද පොලිස් සේවයේ රැකියාවක නිරතවනවාට අකමැති වූ පෙම්වතා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළද චන්දිමා උත්සාහය අත නොහැර පොලිස් සේවයට එක්වූවාය. ඒ අනුව මූලික පුහුණු පාඨමාලාව අවසන් කළ චන්දිමා පොලිස් කොස්තාපල්වරියක වශයෙන් මුල්ම පත්වීම ලබා සේවයට ගොස් තිබුණේ පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ පරිගණක අංශය වෙතය.

පළමුව රාජකාරියට වාර්තා කළ චන්දිමා ප්‍රියදර්ශනී සිය මුල්ම නිවාඩුව ලබන තෙක් එක දිගට මාස තුනක් රාජකාරියේ නිරතව සිටියාය. මාස තුනක ඇවෑමෙන් පසුව ලද මුල්ම නිවාඩුවට ගමට යන්නට සූදානම් වූ ඇය සිය පෙම්වතාටත් මිත්තණියටත් පුංචි අම්මාටත් ලබාදෙන්න තෑගි බෝග මිලදී ගත්තාය. පොලිස් සේවයට ගියදා පටන් චන්දිමාට සිය පෙම්වතා හා දොඩමලු වන්නට වෙනදා තරම් වේලාවක් තිබුණේ නැත.

නානුඔය ප්‍රදේශයේ ගමක උපන් පෙම්වතා වූ තරුණයා එතරම් සමාජශීලී නොවීය. එබැවින් සිය පෙම්වතියගේ රාජකාරි ස්වරූපය හෝ වගකීම් ගැන අවබෝධයක් ඔහුට නොවීය. දෙදෙනා අතර දුරකථන සංවාදවලදී පවා ගැටලු මතුව තිබුණේ එබැවිනි. මේ නිසාම බොහෝ අවස්ථා ගෙවී තිබුණේ පෙම්වතාට චන්දිමා පිළිබඳ සැකයක් හට ගනිමිනි. ඔහු නිරතුරුවම විශ්වාස කර තිබුණේ සිය පෙම්වතිය වෙනත් පෙම් සබඳතාවයක පැටලී ඇති බවය.

ඉකුත් දිනෙක නිවාඩු ලද චන්දිමා ගමට පැමිණෙන විටත් තරමක් රෑ බෝවී තිබිණ. සිය පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබාදී ඔහු නගරයට ගෙන්වාගෙන යතුරුපැදියේ නැගී නිවසට පැමිණි චන්දිමා පෙම්වතා සමඟත් නිවැසියන් සමඟත් කාලය ගෙව්වාය. මේ අතර අසල්වැසි නිවසක දානමය පුණ්‍යකර්මයක් පවත්වා තිබෙන අතර නිවැසියන් සමඟ චන්දිමාද ඊට සහභාගි වී සිටියාය.

දහවල් දානයෙන් අනතුරුව සිය පෙම්වතාට දෙන්නට යැයි කියමින් බත්මුලක් බැඳගත් චන්දිමා එය රැගෙන ඔහු සේවය කරන ඌව කැටවල වත්තට යන්නට සූදානම් වූවාය. ඒ බව දුරකථන ඇමතුමකින් පෙම්වතාට දැන්වූ පසුව ඔහු පවසා තිබුණේ නිල නිවසට නොඑන ලෙසත් තමා ඇගේ නිවසට පැමිණෙන බවත්ය. චන්දිමා පෙම්වතා එන මඟ බලමින් තම නිවසට වී සිටියාය.

දීර්ඝ කාලයක පටන් නිවසට යන එන පෙම්වතා සුපුරුදු ලෙසින් පෙම්වතියගේ නිවසට පැමිණ තිබුණි. පොලීසියේ රාජකාරියට ගිය පෙම්වතිය පිළිබඳ තරහෙන් හා අවිශ්වාසයෙන් සිටි පෙම්වතා හා චන්දිමා අතර කතාබහක් ඇතිවන්නට වැඩි වේලාවක් ගතවූයේ නැත. බහින්බස් වීම අතරතුර දෙදෙනාම රැඳී සිට ඇත්තේ චන්දිමාගේ කාමරය තුළය. ඉන් එහා සිදුවූ කිසිම දෙයක් ඇසූ දුටුවෙක් නැත. අඩුම තරමේ පෙම්වතා චන්දිමාගේ නිවසට ආ බව දුටුවෙක් හෝ සිටියේ නැත.

ගතවී තිබුණේ තවත් මිනිත්තු කීපයක් පමණි. චන්දිමාගේ ගෙදරට ආසන්නයේ වෙනත් නිවෙසක් නොතිබුණි. එහෙත් අසල්වැසි ගමක අයෙක් දානෙ ගෙදර දෙසට ගමන් කරමින් සිටියදී චන්දිමාගේ නිවස තුළින් ගින්නක් ඇවිලෙන බව දැක තිබේ. මහා දුමාරයක් නැගෙමින් පුලුටු ගඳ වෑහෙන ගිනි ගැනීම පිළිබඳව හැකි ඉක්මනින් දානෙ ගෙදර රැස්ව සිටි පිරිසට දන්වා තිබුණි. අනතුරැව පිරිස එකා දෙන්නා ගිනිගන්නා නිවස දෙසට දුව ආවෝය. ඒ අතර චන්දිමාගේ පුංචි අම්මා හා මිත්තණිය කියා තිබුණේ දුව තුසිතට කෑම එකක් අරගෙන ගෙදරට ආ බවය. එහෙත් ගිනිගන්නා නිවසේ කිසිවෙක් පෙනෙන්නට සිටියේ නැත.

මේ අතරතුරදී ගම්වැසියෙක් හාලිඇළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාට දුරකථන ඇමතුමකින් දන්වා තිබුණේ ජගුල්ල ගමේ නිවසක් ගිනිගන්නා බවය. ඒත් සමඟම පිටත් වූ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එහි ළඟා වූහ. නිවසේ කාමරය ගින්නෙන් වැසී තිබියදී ගම්වාසීන්ගේ ආධාරයෙන් වතුර දමා ගින්න නිවාදැමීමෙන් පසුව ඒ මැද වූ පිළිස්සුණු මළ සිරුරක් දකින්නට ලැබී ඇත.

ඒත් සමඟ තැතිගත් ගම්මුන් පොලීසිය සමඟ සිදුකළ සොයාබැලීමේදී පෙනී ගොස් තිබුණේ පොලිස් කොස්තාපල් චන්දිමා පිළිස්සී මියගොස් ඇති බවය. මුණින් අතට බිම වැටී සිටි චන්දිමාගේ සිරුරේ ඉණෙන් උඩ කොටස ඇඳ යටට වැටී තිබිණි. කඳ කොටස ඇඳෙන් එළියට වන්නට තිබියදී බරපතළ ලෙස ගිනිගෙන තිබුණි.

මේ අවස්ථාවේදී මිත්තණිය වැළපුණේ අනේ මගේ දුව තුසිතට බත් එකක් අරගෙනයි ගෙදර ආවේ කියමිනි. එහිදී තුසිත කවුරැන්දැයි අසා දැනගත් පොලිස් නිලධාරීන් පවසා තිබුණේ එහෙම නම් තුසිතට එන්න කියන්න යැයි නියෝගයකි. මීටර් 500ක් තරම් දුරක නිල නිවසේ සිට හදිස්සියට එන්නට වැඩි වේලාවක් යන්නේ නැත.

එහෙත් තුසිතගේ පැමිණීම ප්‍රමාදය. අවස්ථා ගණනාවකදී පණිවුඩ යැවූ පසුව ප්‍රමාද වී ඔහු පැමිණියේය. සිය පෙම්වතිය විපතට පත්වූ මොහොතේ පෙම්වතාගේ පැමිණීම ප්‍රමාදවීම පිළිබඳව යම් සැකයක් ඉපදෙන්නට ස්ථානාධිපතිවරයාට මොහොතක්වත් ගතවූයේ නැත.

සැක සහිත මරණය පිළිබඳව පෙම්වතා වූ තුසිතගෙන් විමසීමේදී ඔහු කීවේ කිසිවක් නොදන්නා බවය. ඔහු පිළිබඳ සැකය අත්නොහළ පොලීසිය ඒ බව නොපෙන්වා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවන්නටත් පොලිස් නිල සුනඛ ඩස්ටිගේ සහාය ලබාගන්නටත් කටයුතු කළේය.

එහිදී මළසිරුර අසල වැටී තිබූ උල්පිහියක් ඉවකරන්නට සලස්වා තිබූ අතර ඩස්ටි ඉව අනුව ගොස් නැවතී තිබුණේ පෙර කී තුසිත නවාතැන් ගෙන සිටි නිල නිවස තුළය. මෙහිදී ඝාතනයේ සැකකරු නිවැරදිවම හඳුනාගන්නට පොලීසිය ක්‍රියාකළ අතර ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකාර තුසිත පාපොච්චාරණය කර තිබුණේ සිය පෙම්වතිය මරා දැමීමට තමා කාලයක සිට බලා සිටි බවය.

ඇය තමාගේ අදහසට විරුද්ධ වී පොලීසියට බැඳුණු බවත් එතැන් පටන් වෙනත් ආදර සබඳතාවයක් පවත්වාගෙන යන බවත් සිතමින් ඔහු සැකයෙන් පසුවී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් සුදුසු අවස්ථාව එළඹෙන තෙක් සිටි තුසිත උල්පිහියක් රුගෙන පැමිණ චන්දිමාගේ ගෙල කපා ඝාතනය වූ පසුව සිරුරට යම් ඉන්ධන වර්ගයක් ඉස ගිනිතැබූ බව කියා තිබේ. සිරැරට දැමූ ඉන්ධනවල වැඩි හරිය අල්මාරියට විසිකළ බවත් සිරුරට හා අල්මාරියට එකම අවස්ථාවේ ගිනි දල්වා පලාගිය බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

මියගිය චන්දිමා කුඩා කාලයේදීම ඇගේ මව පියා වෙන්වී ජීවත්ව ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ මිත්තණිය යටතේය. ඇය සිංහල, ඉංග්‍රීසි, දෙමළ භාෂාවේ නිපුණ තරුණියකි. පරිගණක අධ්‍යාපනය මැනවින් හදාරා ඇති බැවින් වලාන දූෂණ මර්දන අංශයේ පරිගණක ඒකකයේ සේවයට යොදවාගෙන තිබුණි.

සිය පෙම්වතිය පිළිබඳ සැකයෙන් පසුවූ තුසිත නානුඔය ප්‍රදේශයේ පදිංචි දුසිරිතෙන් තොර අයෙක් බවට ගම්මු කියති. වැඩි සමාජ ආශ්‍රයක් නොවූ ඔහු පෙම්වතියගේ රැකියාව හා ඇගේ වෙනස් චර්යාව පිළිබඳව බරපතළ සැකයකින් පසුවී ඇත. ඒ අනුව ඝාතනය කිරීම කාලයක පටන් සැලසුම් කර ක්‍රියාත්මක කළ බවට අනාවරණය වී තිබේ.

සැකකාර තුසිත නැමැති ක්ෂේත්‍ර නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැප්තැම්බර් 14 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති ජගත් පලිහක්කාර, බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත, බදුල්ල සහකාර පොලිස් අධිකාරි රොෂාන් රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රෙස්කර මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක යල්කුඹුර, පොලිස් සැරයන් 19803 රත්නපාල, කාන්තා පොලිස් කොස්තාපල් 7822 තරංගා, පොලිස් කොස්තාපල්වරුන් වන 59200 ජයප්‍රකාශ්, 60175 හේරත්, 70793 චමින්ද යන නිලධාරීහු වැඩිදුර විමර්ශනය සිදුකරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *