ලෝකයෙන්ම බැතිමතුන්ගේ වැදුම් ලබන ලංකාවේ එකම කොස්ගස ගැන දන්නවාද..

රාජකාරි සේවා ලැබීම සඳහා නීතියෙන්ම අවසර හිමිවූ කොස්ගසක් අප රට තුළ ඇති බව කිවහොත් ඔබ සමහරවිට විශ්වාස නොකිරීමටත් ඉඩ ඇත. එහෙත් වසර 600ක් පමණ පැරණි කොස් ගසක් නින්දගම්වාසී ජනයාගේ රාජකාරි සේවා ලබමින් සහ ඇතැම් බැතිමතුන්ගේ වැඳුම් ලබමින් අද ද රත්නපුර ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශයට අයත් උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ විරාජමානව තිබේ.

කොළඹ සිට බදුල්ල පාරේ (A4) යන්නෙකුට 151 කණුව ආසන්නයෙන් මීටර් 500ක් ඇතුළට ගිය කල මෙම ස්ථානයට පිවිසිය හැකිවන්නේය. අක්කර 10ක් වූ මනරම් භූමි භාගයක තුන්මහල් ප්‍රාකාර මත පිහිටි මළුවේ නටබුන්ව ඇති ටැම්පිට විහාරයත්, ද‌ාගැබත්, බෝධීන්වහන්සේත්, කඳසුරිඳුගේ දෙවොලත් ඒ හා සම්බන්ධ දන්, මුළුතැන් ගෙවල් හා ගබඩා ගෙවල් ද වේ.

ප්‍රාසාදය සිව් දෙසට සතර වාහල් දොරටු කරවා, අගනා වාස්තු විද්‍යා නිර්මාණයෙන් සමන්විත දේවාල භූමිය සතර වීදියකින් යුක්ත වන අතර, දේවාලයේ ප්‍රධාන වාහල්කඩ අබියස පත්තිනි දේවාලය පිහිටා ඇත. ඊට අමතරව, දේවාලයේ ප්‍රධාන මුරගල අසලින් ගණදෙවි කෝවිල ද එයට ආසන්නයේම ඉපැරණි කොස් රූප්පය ද පිහිටා ඇත.

පත්තිනි කෝවිල සහ වල්ලි අම්මා කෝවිල සිංහාසන වීදියේ පිහිටා තිබේ. ඓතිහාසික වටිනාකමකින් යුක්ත මෙම කතරගම දේවාලයේ ආරම්භය ශත වර්ෂ 1304 තරම් ඈතට දිව යයි.

ඒ ගම්පොළ රාජධානිය සමයයි.

ශත වර්ෂ 1304 වන විට මෙම ප්‍රදේශය “මැදගම් නුවර” ලෙස හඳුන්වා ඇත. භාරතයේ මධ්‍ය දේශයෙන් පැමිණ මෙහි “සංඝනාථ” නම් වූ බමුණාට කඳසුරිඳුන්ගේ හස්තයෙන් ස්වර්ණායුධයක් පහළ වන අයුරු සිහිනෙන් පෙනී ඇත. පසුද‌ා අලුයම වැව්තාවුලට පැන් ස්නානය පිණිස පැමිණි මෙම බ්‍රාහ්මණයා පෙර දින සිහිනෙන් දුටු ස්වර්ණායුධය අන්දර ගසක වැඩ සිටින අයුරු දැක තිබේ. එතනින් නික්ම ගිය ඔහු,

මේ බව ඔහුගේ සහෝදරයා වන මංගලනාථටත් නාගර දේවී, පරවර දාස, මැදගම බණ්ඩාර, වන්නිරාළ, බඩහැලවන්නියා, කදිරසිංගා යන අයටත් දන්වා, ඔවුන් සමග ස්වර්ණායුධය වැඩ සිටින අන්දර ගස ළඟට ඇවිත් බලා, සත් දිනක් පුද පූජා පවත්වා ඇත.

සත්වන දිනට පහන් වූ රාත්‍රීයේ දී සංඝනාථ බ්‍රාහ්මණයාට එම ස්ථානයට නුදුරින් පිහිටි “ගැටනෙටුල ගස” නම් වූ ගල්ලෙනට දේවාභරණය වැඩම කරවන ලෙස සිහිනෙන් පෙනී ඇත. පසුව උත්සවාකාරයෙන් එම ගල්ලෙනට ස්වර්ණායුධය වඩම්මවා පුද පූජා පවත්වා ඇත. මෙම ගල්ලෙන අද ද දේවාලයට නුදුරින් පිහිටා තිබේ.

ඉන්පසු මැදගම් අලුත්නුවර​ ප්‍රාදේශීය රාජ්‍ය අනුග්‍රහයට ලක් වූ අතර ප්‍රාදේශීය රජකු වූ පරාක්‍රමබාහු රජු මෙහි දේවාලයක් කරවා ස්වර්ණායුධය තැන්පත් කර ඇත.

උග්ගල් අලුත්නුවර දේවාලයේ බස්නායක නිලමේ, උදය ඇමිටියගොඩ බණ්ඩාර මහතා කියන පරිදි ඉන්පසු රජතුමා දේවාලයට ගම්වර පූජා කර තිබේ.

“මැදගම් බණ්ඩාරගේ ගමෙනුත් ගැට්ටපාන ගමෙනුත් වන්නිරාලගේ ගමෙනුත් අමුණු 17ක් මඩ බිම අඳවා, දන් මුළුතන් පවරනු පිණිස ඉඩම් පූජා කර තේවාවන් කිරීම සඳහා රාජකාරි කිරීමට කරදිමල්නාරච්චිරාළ, තටුකොලක පොන්නමල්නාච්චිරාළ හා පොල් බොක්කේ අරුමක්කාද, දේවාලයට පවරා ඇත.

දේවාලයේ ලේකම් මිටිය අනුව වර්තමානයේ දක්නට ලැබෙන දේවාලය ඉහතින් සඳහන් කළ පැරකුම් රජුගේ ඇවෑමෙන් වසර 200කට පසු ඉදිකිරීමට ද මුල් වී ඇත්තේ පස්වන පැරකුම්බා රජුගේ මුනුපුරා වන “යාපා මහා රජු” යි. යාපා මහ රජු සීතාවක රාජසිංහ රජු සමඟ අවස්ථා කීපයකදීම යුද වැදුණු නමුත් රජුගේ සේනාවට දැඩිලෙස ජීවිත හානි සිදු විය.

මේ පිළිබඳව මහත් කම්පාවට පත් යාපා මහ රජු, සීතාවක රජු සමඟ නැවතත් යුද්ධයට යන අතරතුර දී මෙම දේවාල භුමියේ ඇති කොස් ගසක පඬුරක් ගැට ගසා මෙවර මාහට ජයක් ලැබෙන්නේ නම්, කඳසුරිඳුන් සඳහා අලුත් දේවාලයක් ඉදිකරනවා යැයි භාර වී ගොස්, සීතාවක රජු සමග යුද වැදී එයින් දිනා තිබෙනවා.

පසුව, හුණුවල වෙල්යාය මැදින් ගලා යන ඇළ අසලට ගොස්, සීතාවක රජු එතැනට ගෙන්වා, තම අත තිබූ පේරස් මුද්ද එම ඇළට දමා, එම ඇළ “පේරස් ඇළ” නමින් නම් කොට, ඇළෙන් බටහිර කොටස සීතාවකත් නැගෙනහිර කොටස යාපා මහා රජුට අයිති වන සේ ගිවිසුමකට එළඹ ඇති බව සඳහන් වෙනවා” බස්නායක නිලමේවරයා කියයි.

රජු ඉතා සතුටින් තම මාලිගාව කරා ගමන් ගත් අතර, තමන් භාරයක් වූ බව මතකයෙන් ඉවත්ව තිබුණි. එම ගමන අතරතුර විල්බා අඩවියේ දී උගුරේ සෑදුණු ගෙඩියක් හේතුවෙන් රජු අපහසුතාවට ලක් විය.

ඒ පිළිබඳ පෙර මැදගම් නුවර දී භාරය අමතක වූ බව හිතවතුන් විසින් පවසන ලදී. එකෙණෙහිම රජු, මයුර වාහන කොඩිය සිටුවා අලුත්නුවර දේවාලය උදෙසා පූජා වශයෙන් ගම් බිම් පූජා කළ අතර, එවිට උගුරේ ඇතිව තිබූ ගෙඩිය සමනයට පත් විය. මෙහිදී පුදන ලද ගම උගුරේ ගෙඩිය සුව වූ බැවින් “සොරගුණය” ලෙස හඳුන්වන ලදී.

ඒ අවට ගම්මාන ගණනාවක් දේවාලයට පූජාකර ඇති රජු සැම වසරකම ඇසළ මාසයේ නැකත් සාදවා පෙරහරක් හා දිය කැපීමේ මංගල්‍යයක් නියම කර තිබේ.

ප්‍රදේශයේ ජනයා වසර දහස් ගණනක් තිස්සේ කොස් බහුලව අනුභව කර ඇති බව වඩාත් පැහැදිලි වේ. එයට හොඳම නිදසුනක් නම් මීට වසර 600කට පමණ ඉහත දී දේවාලයට පූජාකරන ලද අක්කර 40ක පමණ වෙල්යාය වරකවෙල ලෙස හඳුන්වා තිබීමයි. එපමණක් නොව දේවාලයේ වාර්ෂික ඇසළ කාර්ති මංගල්‍යයේ දී වරකා ගසකින් කපන ලද ලීයක් ගෞරවාන්විත පෙරහරකින් වැඩමවා කප්සිටුවීමේ දී සිටුවන කප ලෙස භාවිත කරයි.

ශ්‍රීමහා බෝධියෙන් පසු රාජකාරී ලබන එකම රුක්ෂය මෙයයි

දේවාලයේ දිග්ගෙයි නැටුම් සහ චාරිත්‍ර මීළඟට.

උග්ගල් අලුත්නුවර දේවාලයේ බස්නායක නිලමේ, උදය ඇමිටියගොඩ බණ්ඩාර

මෙම කොස් රුප්පය ඓතිහාසික වශයෙන් වඩාත් වැදගත් වන්නේ ලංකාවේ රාජකාරී ඉටුකරනු ලබන හා මෑතක සිට බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්වන එම රුප්පය මෙය වීමයි. මේ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද පිළිගෙන තිබෙනවා. ශ්‍රී මහ බෝධීන් වහන්සේ හැරුණ විට රාජකාරී නම් කර ඇති ලංකාවේ ඇති එකම ඓතිහාසික රුක්ෂය වන්නේ මෙම කොස් රුප්පයයි.

මේ බව වඩාත් තහවුරු කිරීම සඳහා දේවාලය සතු 1870 අංක 4 දරන වැඩ ලේඛනයෙහි දෙවියන්ට පිරුවට යෙදීම සඳහා සිටින රත්නහලු පන්ගුව විසින්ම ඇසල මාසයේ මහ පෙරහර පැවැත්වෙන දින පහ තුළ කොස්රුප්පයට වියන් බඳින ලෙස සටහන් කර තිබෙනවා.

මේ වන විටත් මෙම කොස් රුප්පයට ආරක්‍ෂක බැමි සහ වැටවල් ඉදිකර ඇති අතර බොහෝ මැතිමතුන් මෑතක සිට තමන්ගේ භාරහාර ගැටගැසීම ආරම්භ කර තිබෙනවා.

මේ වන විට මෙම ඓතිහාසික කොස් රුප්පය පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර ඇති අතර, පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්‍ෂවරයා විසින් මෙම ඓතිහාසික කොස්රුප්පය සංරක්‍ෂණය කිරීම පිළිබඳව උපදෙස් ලබා දී ඇත.

වසර 600ක් ඉක්මවූවත්, අද ද ඉතා හොඳින් ඵල දරන මෙම කොස් රුප්පය ලංකාවටත්, සබරගමුවටත් බලන්ගොඩ ජනතාවටත් සෞභාග්‍යයකි. ඉතා වාසනාවකි . ‘‘බස්නායක නිලමේවරයා සඳහන් කරයි.

ප්‍රේමකීර්ති රණතුංග

Leave a Reply

Your email address will not be published. Required fields are marked *