“ලබන අවුරුද්දේ වෛද්‍ය විද්‍යාලයට යන්න හිටියේ..කට කැඩෙනකම් කිව්වා මගෙ රත්තරන් පුතේ රේස් පදින එක නවත්වන්න කියලා”- ඩොක්ටර් කෙනෙක් වෙන්න මග බලන් හිටපු තරුණයාට මරු කැඳවූ යතුරු පැදි අනතුර!

පසුගියදා සෙවණගල, නුගේගලයාය ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරුකින් 22 හැවිරිදි ගීගනගේ නුවන්සිරි ලක්මාල් මනම්පේරි නමැති තරුණයෙක් මියගියේය.අධ්‍යපානයට සුවිශේෂි දස්කම් දැක්වූ මෙම තරුණයා ලබන වසර වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමට සිටි තරුණයෙකි.

අධ්‍යාපනයට සේම බාහිර කටයුතු සඳහාද විශේෂ දක්‍ෂතාවක් දැක්වූ නුවන්සිරි දකුණේ තරග රැසකින් කප් ගැසූ දක්‍ෂ වොලිබෝල් ක්‍රීඩකයෙකි. එමෙන්ම යතුරුපැදි රේස් පැදීමටද ඔහු දැක්වූයේ විශේෂ කැමැත්තකි. ඒ නිසාම ඔහු ප්‍රදේශයේ තවත් තරුණයන් කිහිපදෙනකු සමඟ එක්වී සවස් කාලයේදී රේස් පැදීම පුරුද්දක් කරගෙන සිටියේය.

නුවන්සිරි ලක්මාල් ඔහුගේ යහළුවන් සමඟ ඉකුත් 11 වැනි දිනද නිවෙසින් පිටත්ව ගියේ රේස් පදින්නටය. ඒ සඳහා නුවන්සිරි සතුව වගේම ඔහුගේ තවත් යහළුවන් කිහිපදෙනකු සතුවම අධි එන්ජින් ධාරිතාවයෙන් යුතු යතුරුපැදි කිහිපයක්ද තිබේ. රේස් පැදීම සඳහා මේ තරුණයන්ට වෙනම මාර්ග නොතිබූ නිසා මේ පිරිස රේස් පැදීමට පුරුදු වූයේ සෙවණගල සිට කිරිඉබ්බන්ආර, නුගේගලයාය හරහා සූරියවැව දක්වා වැටී තිබූ මාර්ගයයි. මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගය එතරම් කාර්ය බහුල නොවූ මාර්ගයක් වූ නිසා මේ අයට රේස් පැදීමටද ඉතා පහසු විය.

නුවන්සිරි 11 වැනි දින පෙරවරුවේ පළමුවෙන්ම සිය යහළුවන් සමඟ මෙම මාර්ගයේ රේස් පැද තිබිණි. එහෙත් එහිදී මොවුන්ගෙන් එක් අයකු එදින පෙරවරුවේ රේස් පදින විට සූරියවැව සිට කිරිඉබ්බන්ආර දෙසට හැරෙන හන්දියේදී අනතුරකට ලක් වන්නට ගොස් බේරෙන්නේ අනූනවයෙනි. මෙම සිද්ධියත් සමඟින් ඔවුන් පැය කිහිපයකට රේස් පැදීම නතර කර නිවෙස්වලට ගොස් නැවත සවස්වරුවේ රේස් පැදීමට එකතු වී තිබේ. එම අවස්ථාවේදී එදින පෙරවරුවේ සිය යහළුවකු අනතුරට පත්වන්නට ගිය යතුරුපැදිය සවස් වරුවේ පැදවීම කර ඇත්තේ මියගිය නුවන්සිරිය.

ඔහු මෙම යතුරුපැදියට දැක්වූයේ විශේෂ ඇල්මකි. එය ඔහුගේ කණ්ඩායමේ වෙනත් යාළුවකුට අයත් වූවකි. සවස්වරුවේ අවස්ථා කිහිපයක් එහා මෙහා ගිය නුවන්සිරි රාත්‍රි 7.40ට පමණ කිරිඉබ්බන්වැව සිට සූරියවැව දෙසට ආවේ අධික වේගයෙනි.
එම වේගය පැයට කිලෝමීටර් 150කටත් වඩා වැඩි වේගයක් බවයි ගම්වැසියන් පැවැසුවේ. කෙසේ නමුත් අධික වේගයෙන් පැමිණි යතුරුපැදිය නුගේගලයායේදී ඉදිරියෙන් ගිය ත්‍රිරෝද රථයකටද ඉස්සර කළේ ආ වේගයෙන්ම යෑමටය. එහෙත් නුවන්සිරිට සිදුවූයේ කුමක්ද යන්නවත් සිතා ගන්නට නොහැකි විය. ඉදිරියෙන් වැරැදි මංතීරුවේ ආ අත්ට්‍රැක්ටරයේ යතුරුපැදිය ගැටුණේ විශාල ශබ්දයක් නඟමින් අවට මහා ගිනි ජාලා පතුරවමිනි. අසල්වැසියන් සියලු දෙනා පැමිණ බලන විට නුවන්සිරි විසිවී ගොස් අසල කානුවක් තුළට වැටී තිබිණි. ඔහුගේ එක අතක් පමණක් ට්‍රැක්ටරය තුළ වැටී තිබිණි. ඔහු ආ යතුරුපැදිය අනතුර සිදුවූ ස්ථානයේ සිට මීටර් 58ක් දුරින් ගිනි ගෙන විනාශ වී තිබිණි.

දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනියා වූ නුවන්සිරිගේ මේ හදිසි වියෝවෙන් මව දැඩි කම්පනයට පත්ව සිටින්නීය. පුතුගේ හදිසි වියෝව දරාගත නොහැකිව ඇය හැඬූ කඳුලින් පැවසුවේ මෙවැන්නකි.

පළමු වැනි වතාවේ උසස් පෙළ පාස්වෙලා කැම්පස් යන්න තේරුණත් පුතාට වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. ඒත් මම කිව්වා පුතේ වෙන අංශයකින් හරි ඉහළට යන්න විශ්වවිද්‍යාලයට යන්න කියලා. නමුත් අම්මේ මට ‍ෙදාස්තර කෙනෙක් වෙන්නම ඕනේ කියූ පුතා දෙවැනි වර උසස් පෙළට පෙනී ඉඳලා වෛද්‍ය විද්‍යාලයට යන්න වරම් ලැබුවා. නමුත් පුතාගේ හීන ඔක්කොම විනාශ වුණා. මම කට කැඩෙනකම් කිව්වා මගෙ රත්තරන් පුතේ රේස් පදින එක නවත්වන්න කියලා. නමුත් පුතා ඒක කනකට ගත්තේ නෑ. අද මට මගේ පුතා නැති වුණා

පුතාගේ එකම හීනය වුණේ වෛද්‍යවරයෙක් වෙන්නයි. පුතා පළමු වසර උසස් පෙළ පාස්වෙලා විශ්වවිද්‍යාලයට වරම් ලැබුවත් වෛද්‍ය විද්‍යාලයට යන්න ලකුණු මදි වුණා. පසුව දෙවැනි වර උසස් පෙළ ලියලා වෛද්‍ය විද්‍යාලයට යන්න වරම් ලැබුවා. එළැඹෙන ජනවාරි මාසයේ පුතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්නයි හිටියේ. ඒ වෙනකම් කියලා පුතා බයික් රේස් පැද්දා. ඒත් මං අනන්තවත් කිව්වා මගේ රත්තරනේ රේස් පදින්න එපා කියලා. ඒත් පුතා මට කිව්වේ අම්මේ ජනවාරි වෙනකම් විතරයි. කැම්පස් යනකොට මේ ඔක්කොම නවත්වන්න වෙනවනේ කියලයි. වෙනදා පුතා හැමදාම රේස් පදින්න යනකොට මට කියලා යනවා. සමහර දවස්වලට මම යන්න දෙන්නෙත් නෑ. එදා පුතා මට කිව්වේ නෑ. යාළුවෝ ඉන්න දිහා යනවා කියලා ගිය පුතා ගෙදර ආවේ පෙට්ටියකින්. මම කොහොම මේ දුක ඉවසන්නද දෙයියනේ. අම්මේ මන් කවදාවත් වැරැදි වැඩක් කරන්නේ නෑ. අම්මා බය වෙන්න එපා. මම ‍ෙදාස්තර කෙනෙක් වෙනවාමයි කියා නිතරම මට කියූ මගේ පුතා අද මං දමලා යන්න යනවා මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. වැඩිමහල් දුව සහ පුතාලා දෙන්නෙක්.

මිය ගිහින් තියෙන්නේ දෙවැනියා. පුතා ඉගෙන ගන්න හරිම දක්‍ෂයි. ඊට අමතරව පුතා රේස් පදින්න ලොකු ආශාවක් දැක්වූවා. පුතා යාළුවොත් එක්ක ගිහින් පාරේ රේස් පදිනවා. ඒත් මං පුතාට කිව්වා පුතේ පාරේ රේස් යන එක නම් හොඳ නෑ කියලා. මේ ළමයි පාරේ රේස් පදින නිසා මං උඩවලව රේස් කෝස් එකේ මෙයාලට ලියාපදිංචිය අරන්දීම පිළිබඳව සොයා බලලයි තිබුණේ. ඒකේ මේ ළමයි එන සතියේ ලියාපදිංචි කරන්නයි හිටියේ.

නමුත් ඒ ඔක්කොටම කලින් පුතා අපිව දමලා යන්න ගියා. පුතා යාළුවෝ හමුවෙන්න යනවා කියලා වොලිබෝල් මැච්වලට ගිහින් කප් අරගෙන තියෙනවා. මං ඒවා දන්නේ පුතා මිය ගියාම ආව ගිය අය කියපු විස්තරවලිනුයි. මම බනීවි කියලා පුතා අපිට ඒවා කිව්වේ නෑ. අපි පුතාගේ දක්‍ෂතා ගොඩක් දැන හිටියේ නෑ. පුතා නැති වුණා කියලා දැන ගත්තම විශාල පිරිසක් ආවා. ඒ අය කිව්වම තමයි අපි දන්නේ පුතා වොලිබෝල් ගහල දකුණේ සම්මාන පවා අරගෙන කියලා. මේ ජනවාරි විශ්වවිද්‍යාලයට යන්න හිටිය මගේ පුතා අද සදහටම අපිව දමලා යන්න ගියා

අනතුර සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබේ. වැරැදි මංතීරුවේ ගමන් ගත් ට්‍රැක්ටර් රියැදුරු සෙවණගල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැරීමට පියවර ගෙන තිබිණි. අදාළ අත්ට්‍රැක්ටරය පදවා තිබුණේද මියගිය නුවන්සිරි ලක්මාල්ගේ ඥාතියෙකි. අවසන් කටයුතු 14 දින (අද) කිරිඉබ්බන්වැව රන්වැලිගම පොදු සුසාන භුමියේදී පැවැත්වීමට නියමිතව තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *