දුම්රිය අනතුර අස්සේ කෑදර වුණ මිනිස්සු..

හබරණ සහ පලුගස්වැව දුම්රිය ස්ථානයට අතර 127 කිලෝ මිටර් කණූව ආසන්නයේදී කොළඹ සිට මඩකලපුව දෙසට ධාවනය වු ඉන්ධන ප්‍රවාහනය කරනු ලැබු දුම්රියක ගැටිමෙන් වන අලි තිදෙනෙකු අද(18) උදෑසන මිය ගියේය.

අද අලුයම 4ට පමණ මෙම අනතුර සිදු වී ඇති බව පොලීසිය පවසයි.

අනතුරින් දුම්රිය පීලි පැනිමක්ද සිදු වු අතර, රේල් පිලීවලට දැඩි අලාභ සිදුව තිබුණි.

මේ සියල්ල සිදුවී තිබෙන අවස්ථාවක අලීන් තිදෙනෙකු ද එම ස්ථානයේ ම මියගොස් තිබිය දී ප්‍රදේශවාසීන් එක්ව ඉතා කඩිසරව ඉන්ධන පෙට්ටි තුළින් කාන්දුවන ඉන්ධන පුරවා ගන්නා ආකාරයක් අද දෙරණ කැමරා කාචයේ සනිටුහන් විය.

සිදුවු අනතුර පසෙක තබා ජනතාව වැඩි වශයෙන් ඉන්ධන එකතු කිරීමට අවශ්‍ය භාණ්ඩ නිවෙස් තුළින් රැගෙන එන අයුරු ද අපට දක්නට ලැබිණි.

පීලි පැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කරන තුරු කොළඹ සිට මඩකලපුව දක්වා ධාවනය වන දුම්රිය මහව දක්වාත් මඩකලපුව සිට කොළඹට ධාවනය වන දුම්රිය ගල්ඔය දක්වාත් ධාවනය කෙරෙනු ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළ අතර, හබරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පීලිපැනීමට ලක්වූ දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සදහා මේ වන විට කණ්ඩායමක් එම ප්‍රදේශය බලා පිටත්ව ගිය බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *