“මල් නම් ජයරත්න ජයරත්න නම් මල්” – කවුරුත් දන්නා ජයරත්න මල් ශාලාවේ නොදන්නා කතාව මෙන්න!..

කේ.ජී.ඒ. ජයරත්න උපන්නේ ගාල්ල පින්නදූව ප්‍රදේශයේදීය. ඔහුගේ පියා කොළඹ අලුත්කඩේ උසාවිය අසල හෝටලයක් පවත්වාගෙන යමින් පදිංචිව සිටි නිසා ජයරත්න කුඩා කාලයේදීම කොළඹට සේන්දු වී සිටි අතර කොළඹ ආනන්දයෙන් සිප්සතර හැදෑරීමේ අවකාශය ද ලබා ගත්තේය. කොළඹ දී හැදී වැඩී ආනන්දයෙන් සිප්සතර හද‌ාරා පසුකලෙක ඔහු සමාජගත වූයේ ‘මම මේ රටට ලොකු සේවයක් කරමි.’ යන පරමාර්ථය ඇතිවය. ඒ කුමක්ද යන්න ගැන නිශ්චිත අරමුණක් ඔහුට නොතිබිණි. ඔහුට හොඳ මිතුරෙක් සිටියේය. ඔහු පදිංචිව සිටියේ ද කොළඹය. ඒ මිතුරා සමග කතාබහ කොට ඇස් රෝහල ඉදිරිපිට බේක් හවුස් ආයතනයට යාබදව ‘මල්’ ව්‍යාපාරික ස්ථානයක් පටන් ගත්තේ එක්තරා විදියක අහම්බයකිනි.

එය නම් කෙරුණේ ජයරත්න ෆ්ලෝරිස්ට්ස් (florists) යනුවෙනි. ඩීන්ස් පාර 432 යන ස්ථානයේ එද‌ා මෙය ඇරැඹියේ 1952 වසරේදීය. එලෙසින් ඇරැඹි ආයතනය වෙනුවෙන් ජයරත්න සේවය ලබා දුන්නේ ව්‍යාපාරිකයකු ලෙස මසුරන් පොදි බැඳීමේ ආසාවට වඩා සේවයක් ලබාදීමේ පරමාර්ථය මූලික කරගෙනය. ඒ නිසාම ජයරත්න ෆ්ලොරිස්ට්ස්ලා දිනෙන් දින ජනප්‍රිය වෙන්නට පටන් ගත්තේය. එක්තරා අවස්ථාවක රටේම ජනතාව අතර ජයරත්න නාමය අවධානයට නතු වූයේ අපූරු දැන්විමක් නිර්මාණය වූ නිසාවෙනි.

‘මල් නම් ජයරත්න
ජයරත්න නම් මල්’

ඒ දැන්වීම නිර්මාණය වූයේ දිවංගත කරුණාරත්න අබේසේකර ශූරීන්ගේ සංකල්පයකට අනුවය. හමුවීම්, එක්වීම්, වෙන්වීම් යන මේ සෑම අවස්ථාවක් වෙනුවෙන් මල් සැකසීම කරමින් සිටි ජයරතන ආයතනය මල් මල් ගමනක් යමින් සිටියදී නායක හිමිවරු මෙන්ම හිතමිතුරාදීන් ජයරත්න හට තවත් යෝජනාවක් ඉදිරිපත් කළේය.

‘දැන් ඔබගේ ව්‍යාපාරය තවත් පුළුල් කරන්න. සිංහල බෞද්ධාගමික ව්‍යාපාරිකයිනට නිදහසින් පසුව දැන් හොඳ අවස්ථා ලැබී තිබෙන්නෙ. ඒ හැරත් මේ අංශයේ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයින් ඇත්තෙත් නැහැ. ඒ නිසා ජයරත්නල ආයතනය මේ අංශයේ පෙරමුණ ගන්න.’

එලෙසින් නොයෙක් පාර්ශ්වයන් වෙතින් ලද අනුශාසනා ආරාධනා හමුවේ වඩාත් ගරු කොට ජයරත්න ඔහුගේ මේ මල් සේවාව පුළුල් කළේ අවමංගල්‍ය සේවාව ද ස්ථාපිත කරමිනි. 1967 වසරේ ඩීන්ස් පාරේ අංක 280 යන ස්ථානයෙහිදී එද‌ා එය විවෘත කෙරිණි.

‘මල් නම් ජයරත්න
ජයරත්න නම් මල්’

දැන්වීමට අමතරව ඉනික්බිතිව තවත් අපූරු දැන්වීමක් ඒ සමඟම නිර්මාණය විය.

‘සොම්නස – දොම්නස
පවසන – ගොළුබස

දුකේදීත් සැපේදීත් ඔබ ළඟින්ම සිටින මිතුරා’

යන එම දැන්වීම් එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ප්‍රචාරය කළ පුෂ්පාංජලී වැඩසටහන මගින් නිරන්තයෙන් ප්‍රචාරය කෙරිණි. නමුත් ජයරත්න නාමය ප්‍රකට වූයේ එවැනි දේ නිසාම නොවීය
‘එද‌ා ඉඳලාම අපි සේවා ලබා දුන්නේ උසස් විදියටයි. සැමද‌‌ාම ලබාදෙන සේවය ඉහළම සහ උසස්ම අයුරින් ලබාදීම තමයි අපේ අරමුණ වුණේ. ඒ නිසා තමයි ශ්‍රී ලාංකීය ජනතාව අතර ජයරත්න නාමය ප්‍රකට වුණේ.’
වත්මනෙහි එසේ පවසන්නේ ගාමිණී ජයරත්නයන්ය. සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයින් දෙදෙනෙකු ජයරත්න පවුලට අයත් වූහ. මේ ගාමිණී ජයරත්න යනු ජයරත්න ව්‍යාපාරයේ නිර්මාතෘවරයාගේ වැඩිමහල් පුත්‍රයාය. එද‌ා තාත්තා නතර කළ තැනින් පටන්ගෙන විශිෂ්ට සේවාවක් ශ්‍රී ලංකාවට ඉටුකළ අපූරු චරිතයක් ලෙස මෙම ගාමිණී ජයරත්න නම් කළ හැකිය.

1982 දී මෙම ආයතනයේ නිර්මාතෘ මියගිය පසු ඉනික්බිතිව එම ව්‍යාපාරයේ කටයුතු කළමනාකරණය කරමින් විශිෂ්ට සේවාවක් ලබා දෙන ආයතනයක් බවට පත්කිරීමට මේ ගාමිණී ජයරත්න පුරෝගාමී වූවේය.
‘දුකේදී අනුන්ගේ ළඟින්ම සිටින මිතුරා’ බවට ජයරත්න පත්වූයේ ව්‍යාපාරයකට එහා ගිය සේවාවක් උසස් ලෙස ලබාදුන් නිසාවෙනි. කොළඹට පමණක් සීමාව තිබූ ජයරත්න අවමංගල්‍ය සේවාව කළුබෝවිල, රත්නපුර, මහනුවර, කුරුණෑගල දක්වා ශාඛා ව්‍යාප්ත කිරීමට මේ ගාමිණී ජයරත්නගේ කළමනාකාරිත්වයට හැකිවිණි. එපමණක්ම නොව VIP (වී.අයි.පී.) හෙවත් ප්‍රභූ සේවාවක් ලබා දෙන සංකල්පය පවා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ඔහුට හැකිවිණි. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකු ලෙස නැගී සිටිමින් ශ්‍රී ලාංකීය ව්‍යවසායකත්ව ක්ෂේත්‍රයට අගනා රත්නයක් වූ ගාමිණී ජයරත්න ඔහුගේ හඬ අවදි කළේ මෙලෙසිනි.

එවකට අපි පදිංචිව සිටියේ නුගේගොඩ ගංගොඩවිල. මුලින්ම මම සහ මල්ලී පාසල් ගමන පටන් ගත්තේ ඉසිපතනයෙන්. පසුව තාත්තා පදිංචියට බොරැල්ල කාසල් වීදියේ නිවසක් ගත්තා. තාත්තා බෞද්ධ හිමිවරුන්ගේ ඇසුර මෙන්ම අවවාද නිතර ලබා ගත්ත කෙනෙක්. හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි මහ නාහිමිගේ අනුශාසනා සහ මඟපෙන්වීම යටතේ හය වසරෙන් පසුව මල්ලී සහ මම කොළඹ ආනන්දයට ඇතුළත් කිරීමට තාත්තා උනන්දු වුණා. 1969 වසරේදී ආනන්දයට ඇතුළත් වූ මා එතැන් සිට උසස් පෙළ දක්වා එහි ඉගෙනුම ලැබුවා. 69 වසරේදීම ආනන්දයේ ප්‍රථම හේවිසි තූර්ය කණ්ඩායමේ නායකයා වුණෙත් මම. එය විද්‍යාලීය ඉතිහාසයේ සඳහනක් වගේම පුද්ගලිකව මා ලැබූ අභිමානවත් අවස්ථාවක් වූ බව සඳහන් කළ හැකියි. පසු කලෙක ආනන්දයේ බොහෝ දෙනා මට කිව්වේ අපේ බෑන්ඩ් මාස්ටර් කියලයි. ප්‍රථම පාසල් හමුද‌ා හේවිසි තූර්ය වාදක කණ්ඩායම වුණේ එයයි. ඊට අනිල් මිහිරිපැන්න මහතා ලබා දුන්නේ ලොකු ද‌ායකත්වයක්.

එනයින් එද‌ා ආනන්දයේ ප්‍රථම තූර්යවාදක කණ්ඩයමේ නියමුවා වනවිට ගාමිණී කෙසඟ සිරුරකට හිමිකම් කී අතර අනෙක් ළමුනට වඩා කුඩා අයෙකු විය. නමුත් තූර්ය වාදක කණ්ඩායමේ නියමවා ලෙස ඉදිරියෙන්ම යාම ඔහුට ගෙන දුන්නේ මහත් වූ අභිමානයකි. පසු කලෙක ඔහු ආනන්දයෙන් පිටවූයේ ඒ අභිමානය සහිත පෞරෂයකින් යුතුවය. 1973 දී පමණ පාසල් ජීවිතයට සමුදුන් ගාමිණී හට ඊළඟට සිදුවූයේ පියාගේ කටයුතුවලට උදව් කිරීමය. ඊට හේතුවක් තිබිණි.

‘තාත්තා වරින්වර අසනීප වුණා. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවුණේ නිරන්තරයෙන්මයි. 1982 තාත්තා මිය යන තෙක් මම තාත්තාගෙන් ලැබූ දැනුම බොහෝමයි. ඒ දැනුම නොවන්නට 1952 එද‌ා සුළුවෙන් පටන් ගත් මේ ව්‍යාපාරය මේ තරම් දුරකට පුළුල් කරන්නට මට ලැබෙන්නෙ නැහැ. ඇත්ත වශයෙන් අද වාගේ නෙවෙයි. එද‌ා සේවකයින්ගෙ රාජකාරි සියල්ලම ළඟ සිටම අධික්ෂණය කළ යුතු වුණා. ඒ නිසා දිවා රාත්‍රී නොබලා මහන්සියෙන් වැඩ කළා. අපේ තාත්තා අධ්‍යාපනය හද‌ාරලා තිබුණෙත් ආනන්දයෙන්. ඒ අභිමානය එතුමා අපටත් ලබා දී තිබුණා. එතුමා නිතරම කිව්වේ කරන දේ හරියට සහ අවංකව කරන්න කියලයි. මුදල මුල්කරගෙන ව්‍යාපාර නොකොට සේවාවට මුල් තැන දෙන්න කීවා.’

තාත්තාගෙන් ලැබුණු ගුණ යහපත් දර්ශනය ප්‍රායෝගිකවම ඉටුකළ ගාමිණී ස්වකීය ව්‍යවසායකත්ව ජීවිතය පියවරෙන් පියවර ඉදිරියට තබමින් සිටියේය. එක්තරා අවස්ථාවක මෙම ජයරත්න ශාලා පරිශ්‍රය වෙනම ස්ථානයකට ගෙන යන්න යැයි බලධාරින් කළ ඉල්ලීමක් නිසා ජයරත්න හට මුහුණ දීමට සිදුවූයේ විශාල අභියෝගයකටය. නමුත් ගාමිණී සහ ඔහුගේ පියාගේ අප්‍රතිහත ධෛර්ය හා උත්සාහය නිසා නැතිවෙන්නට ගිය ජයරත්න ආයතනය යළි නගා සිටුවීමට හැකිවිණි. වෙසෙසින්ම 1987 වසරේදී ගාමිණී විවාහ දිවියට පත්වීමෙන් අනතුරුව, බිරිඳ චමරි වෙතින් ලැබුණු යෝධ ශක්තිය නිසා ඔහුට තව තවත් ධෛර්යක් ලැබිණි. ගාමිණී අපේක්ෂෘ කළේ ගුණ යහපත් සහකාරියකි.

‘ඇයගේ පියා සහ මගේ පියා යාළුවෝ. මට චමරිව හඳුනාගන්න ලැබුණෙ පාසල් කාලයේදීමයි. අපේ පවුල් අතර දැන හැඳිනීම් තිබුණා. චමරි හරිම ගුණයහපත් ධෛර්වන්ත සහ කරුණාවන්ත බිරිඳක්.’

යහපත් බිරිඳක ලද අභිමානය ගාමිණී අද වචනවලට පෙරළන්නේ එලෙසිනි. අද මේ දෙපළට දියණියක සහ පුතෙකු සතුය. දියණිය නිශාරා රජයේ අධිනීතිඥවරියකි. පුතා හසරංග එංගලන්තයේ සිට උපාධිය හද‌ාරා ශ්‍රී ලංකාවට පැමිණ සිටින්නේය. මෙරට දී නිදහස් අධ්‍යාපනයෙන් පාසල් අධ්‍යාපනය ලබා විදෙස්ගතව වැඩිදුර අධ්‍යාපනය හැදෑරූ තම දියණිය සහ පුතුගේ අරමුණ තමන් උපන් රටට සේවය කිරීම බව ගාමිණ ජයරත්න මහත් අභිමානයෙන් පවසන දෙයකි.

‘ඇත්තටම ව්‍යවසායකත්වයේ යෙදෙන ශ්‍රී ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවේ තෙවැනි පරම්පරාව බොහෝවිට තම රටට සේවය ලබා දෙන්නේ ඉතා අඩුවෙන්. නමුත් මට මගේ පුතු ගැන සහ දියණිය ගැන ආඩම්බර වෙන්න පුළුවනි. එයාලම තමයි මේ ආදර්ශය ලබා දුන්නෙ. මම ජාතිවාදියෙක් හෝ ආගම්වාදියෙක් නෙවෙයි. ඒත් අපි සිංහල බෞද්ධ කියන ව්‍යාපාර පරම්පරාවේ තුන්වැනි පරම්පරාව ගැන විමසුම් කළොත්, දෙවැනි පරම්පරාවේ දූ දරුවන් ද‌ායකත්වය නොදීම නිසා දෙවැනි පරම්පරාවෙන්ම එම ව්‍යාපාර නැවතී තිබෙනවා. රට ගහින් ඉගෙන ගෙන ඒ රටවලම පදිංචි නොවී ලංකාවට ඇවිත් සේවය ලබාදෙන්න. නමුත් එසේ නොවීම රටේ අවාසනාවක්.
ගාමිණී ජයරත්න එසේ පවසන්නේ ශ්‍රී ලංකාව යනු මානව සම්පත මෙන්ම භෞතික සම්පත් අතින් පොහොසත් රටක් වග දන්නා නිසාය. එද‌ා ඔහුගේ තාත්තා පුංචි පැළයක් ලෙස රෝපණය කළ ව්‍යාපාරය අද මහා වෘක්ෂයක් බවට ගාමිණි පරිවර්තනය කර ඇත්තේ අලුත් සංකල්ප වලට අනුව කටයුතු කළ හේතුවෙනි. ජයරත්න වීඅයිපී (VIP) සේවයට අමතරව, මල් වගා කිරීමේ අවශ්‍යතාවය තිබූ බැවින් තම ආයතන සඳහා එහි ඵල ලබා ගැනීම උදෙසා මල් වගා කටයුතු ද ඇරඹීය.

‘වෙනත් ආයතන වෙතින් මල් ඇණවුම් කළාම අපට සමහරද‌ාට නිසි පරිදි සේවය ලැබුණෙ නැහැ. ඒ නිසා අපි අසරණ වූ අවස්ථා තිබුණා. අපම මල් වගා කිරීමේ කටයුතු ක​ෙළාත් හොඳ බව විශ්වාස ක​ෙළ් ඒ නිසයි. ඒ මගින් තවත් පිරිසකට රැකිය ලබා දීමටත් අවකාශය සැලසුණා.

‘අභියෝග පැමිණෙන විට ගාමිණී අභියෝගවලට මුහුණ දුන්නේ එලෙසින් ප්‍රායෝගික වෙමිනි. මරණය යනු සුන්දර හමුවීමක් නොවේ. නමුත් මියගිය කෙනාට අවසන් ගමන වෙනුවෙන් උපරිම ගෞරවයක් ලබාදීම අපේ සමාජයේ සිරිතය. නමුත් මෘත දේහය තැබීම සඳහා හරි හැටි ඉඩකඩක් නොමැති අයට මෙන්ම මහල් නිවස ඇතුළු එලෙසින් ඉඩකඩ අවම ප්‍රමාණයක ජීවත්වෙන අයට සහ තවත් බොහෝ දෙනාගේ පහසුව උදෙසා මෙම ආයතනය සතුව තවත් ආයතනයක් පසුගියදා බොරැල්ලේදී විවෘත කෙරිණි.

එය නම් කර ඇත්තේ ‘The Respect Home’ (ගෞරව කිරීමේ නිවස) නමිනි. එය මල්ශාලා සංකල්පයට එහා ගිය සේවාවකි. බෞද්ධාලෝක මාවතේ දේවි බාලිකාවට කිට්ටුව පර්චස් 45 ක පමණ ඉඩකඩක මේ පරිශ්‍රය තනා තිබේ. අවමංගල්‍ය දෙකක් පමණ එකවර තැබීම සඳහා පහසුකම් මෙහි තිබේ. එහි විශේෂත්වය වන්නේ තම නිවසේ සිටිනාක් මෙන් වූ හැඟීමක් ඇතිවීමය. අවමංගල්‍ය උත්සවයට පැමිණෙන අමුත්තන්ට සංග්‍රහ කිරීමට, චාරිත්‍රානුකූල කටයුතු සිදුකිරීමට මෙන්ම මළ බත සැකසීම සඳහා වූ සියලු අවශ්‍යතා මෙහිදී සපුරාගත හැකිය. සැබැවින්ම එය ව්‍යාපාර කටයුත්තකට වඩා වූ සමාජ සේවයක් ලෙස හැඳින්වීම වරදක් නොවේ.
ජයරත්න ප්‍රභූ සේවය සඳහා වොල්වෝ, බෙන්ස් වැනි කෝටි තුන්සියය ඉක්ම වූ රථ යොදා ගන්නා අතර ඉදිරියෙන් ගමන් කිරීම සඳහා අශ්වාරෝහක රථ ද ලබා දීම සිදුකෙරේ. මල්වඩම් ගෙන යාමට සහ ඥා‌ාති හිතමිත්‍රාදීන්ට දෙන පසු පසින් ගමන් කිරීමට වෙනම රථ ලබා දේ. එතෙක් ඇමෙරිකාව, ඉතාලිය, එංගලන්තය වැනි රටවලට සීමා වී තිබූ ඒ සංකල්ප ජනතාවගේ පහසුව උදෙසා ගාමිණී මෙරටට හඳුන්වා දී ඇත්තේ එලෙසිනි.
‘හැබැයි ලංකාවේ මොන දේත් කොපි කරනවා වගේ අපි කළ මේ අලුත් දේ තවත් අය කොපි කළා. ඒක කියන්න කනගාටුයි. අපි හඳුන්වා දුන් වීඅයිපී (ප්‍රභූ) ‘VIP’ නාමය දැන් මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා භාවිත කරනවා.’

ලංකාවේ අනුකරණාවාදිත්වය ගැන ගාමිණී එසේ පවසයි. නමුත් ඔහුට ඒවා අභියෝග නොවේ. මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් ඔහු දැනුම ලබා ගෙන ඇත්තේ ප්‍රායෝගිකවමය. රටරටවල සංචාරය කිරීම ඔහුගේ විනෝද‌ාංශයකට එහා ගිය අත්දැකීමකි. වෙසෙසින්ම මෙම ක්ෂේත්‍රයට අයත් බොහෝ දේ ගැන ඔහු ප්‍රායෝගිකවම ඒ මගින් උගත්තේය. ඒ උගත් දේ ඔහු පෙරළා තම රටට ලබා දුන්නේ ඉස්තරම් සේවයක් ලෙසිනි. මෙම VIP සේවා ඇතුළු නව සේවා රැසක් මෙම අවමංගල්‍ය සේවා අංශය වෙනුවෙන් රටේ තවත් ප්‍රදේශ කීපයකට නුදුරේදී සම්පාදනය වනු ඇත. තමුන් කරන දේට ඉහළම ගරුත්වයක් දක්වන ගාමිණී සත්ගුණවත් ව්‍යවසායකයකු වූයේ මොන වගේ ගුණාංග නිසාද?

‘මේ සේවාව සහ ව්‍යාපාරය මම මගේ එකකට වඩා සලකන්නේ මෙහි සේවය කරන සේවක සේවිකාවන්ගේ ආයතනයක් හැටියටයි. ලෝකෙට පෙනෙන්නට බොහෝ දේ කිරීමට වඩා ප්‍රධාන වෙන්නේ තමුන්ගේ සේවක පිරිස සතුටින් තැබීමයි. ඔවුන් කලකිරීමෙන් නම් ඒ කරන දේ වෙනුවෙන් සියයට සීයක් කැපවීම කළ නොහැකියි. ආයතනයක් දියුණු වෙන්නේ සේවක පිරිසකගේ ශක්තියෙන්. ඒ වගේම ඔවුනගේ ක්‍රියා කලාපය ආයතනයක දියුණුවට බලපාන දෙයක්.’

තම සේවක පිරිස ගැන නිරන්තරයෙන් හිතන ගාමිණී ඔවුනට විටෙක පියෙකු මෙනි. වසර විසි තිස් ගණන් දීර්ඝකාලීනව සේවය කරන පිරිසක් ඔහු සතු වෙන්නේ එකී ගුණාංග නිසාමය. මෙවැනි ස්වභාවයක් ඇතිව කටයුතු කරන ගාමිණී ඔබ කවුද? අපි විමසීමු.

‘බොහොම සාමාන්‍ය පුරවැසියෙක්. ව්‍යාපාරිකයෙක් තමයි. ඒත් මම ම​ෙග් සමස්ත කණ්ඩායම සමඟ රටට ලොකු සේවාවක් සපයන කෙනෙක්. ඒ ගැන හිතලා සතුටුවෙනවා.’

‘ගාමිණී තමා ගැන අවංකව හිතන්නේ එලෙසිනි. මතුපිටින් නොපෙනෙන සුන්දරත්වයක් මේ මිනිසාගේ ඇතුළාන්තයෙහි ඇති බව සඳහන් කළ හැකිය. හොඳ ව්‍යාපාරිකයකු වීමට නම්? කෙසේ විය යුතුද?

ඉවසීම, ඒ වගේම නිර්ලෝභිකම, අන් අයට සැලකීම තිබිය යුතුයි. ව්‍යාපාර කළත් එ් මත්තේම ජීවිතය කැප කළ යුතු නැහැ. පවුලේ අය එක්ක හැකිතාක් කාලය ගත කළ යුතුයි.’

මෙසේ අදහස් දරණ ගාමිණී අද මෙම ජයරත්න සමූහයේ නායකත්වය ගෙන කටයුතු කරන අතර ඔහුගේ ආදරණීය බිරිඳ සහ පුතු මෙම ව්‍යාපාරය ගොඩ නැංවීම සඳහා නිරන්තරයෙන් ඔහු සමඟ බැඳී සිටින ශක්තිමත් කුළුණු වේ. එද‌ා මුලින්ම පටන්ගත් මල් ආයතන ඇතුළු ජයරත්න ෆ්ලෝරිස්ට්ස් ව්‍යාපාරය ගාමිණිගේ මල්ලී වන උපාලි ජයරත්න කරගෙන යන අතර ඔහු අම්මා ද රැක බලාගෙන මහගෙදර ජීවත් වේ. ගාමිණී පවුලේ සමගිය සහ එකමුතුව ගැන ද නිරන්තරයෙන් හිතන කෙනෙකි. හැමෝටම ජීවිතයේ වින්දනයක් ඇතිවා සේ ඔහුට ද ඔහුට ආවේනික විනෝදාංශයක් තිබේ. ක්‍රිකට් තරග නැරඹීමට බෙහෙවින් රිසිය. එද‌ා ලෝක කුසලානය (96) නැරඹීම සඳහා මිතුරන් පිරිසක් සමග ගුවන් යානයක් වෙන්කර ගෙන පවා ගියේය. අර්ජුණ ඔහුගේ ආනන්දයේ මිතුරෙකි. ක්‍රිකට් හැර අශ්වයින් පිට යාමට හෝ බෙහෙවින් රිසිය. අශ්වයින් 20 ගණනක් පමණ ඔහු සතුය. අශ්ව ගාලක් දඹුල්ලේ ස්ථාපිත කර තිබේ. නිදහස් ලද විගස ඔහු වඩා ප්‍රිය කරන්නේ එකී ස්ථාන සහ කතරගම ඔහු සතු පුද්ගලික නිවහනේ සිට නිදහසේ ජීවිතය ගත කිරීමටය. පොතපත කියවමින් ආගම දහමට, සමාජ සේවයට නැඹුරු වෙමින් එහිදී ගත කරන අතරේ සංගීතය ද ආස්වාදය කරයි.

‘මට මගේ මවගෙන් සහෝදර සහෝදරියන්ගෙන් සහ මගේ සේවක පිරිසගේ මෙන්ම විශේෂයෙන්ම මගේ බිරිඳ චමරිගෙන් විශාල මඟ පෙන්වීමක් ලැබුණා. ඒ වගේම ඔවුනගේ ආශිර්වාදය ලැබුණා. සමාජයට දැනෙන සේවයක් කිරීමට මට පුළුවන් වු​ෙණ් ඒ නිසයි.

අපේ හමුවීමේ අවසන ගාමිණී එලෙසින් ගෞරවයෙන් සඳහනක් කළේය. එද‌ා ඔහු මෙම ක්ෂේත්‍රයට පිවිසි මුල්ම අවස්ථාවේදී එනම් ඔහු පාසල් සිසුවකුව සිටිය දී රන්සිවි ගෙය සහිත අවමංගල්‍ය රථයක් පැදවීමට සිදුවිණි. ඒ දිවංගත ඩඩ්ලි සේනානායකයන්ගේ දෙන රැගෙන ගිය රථයයි. වයස අඩු නිසා එද‌ා ඔහුට රියදුරු බලපත්‍රය ලබා නොතිබිණි. එහෙත් වුඩ්ලන්ඩ්ස් මන්දිරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගාමිණී එද‌ා ඩඩ්ලි සේනානායකයන්ගේ දෙන සහිත රන්සිවි ගෙය පදවා ගෙන ගියේය. පසුලෙක බොරැල්ල ඩඩ්ලි සේනානායක පිළිරුව ඉදිවිණි. ඊට මුහුණලා ජයරත්න අවමංගල්‍ය සේවා ආයතනය ඉදිවී තිබේ. ජීවිතය හරි පුදුමයි නේද?

සඳුන් ගමගේ / www.lankadeepa.lk

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *