“එක දවසේ ගෑනු දෙතුන් දෙනා එක්ක සතුටු වුණා.. කුඩු ෆීලින් එක ඇඟට ආවම සෙක්ස්ෂුවල් නැතිවම බැරි වුණා..”- මතට ලොල් වී ජීවිතය විනාශ කරගත් බුද්ධි අංශ නිලධාරියාගේ ඇඟ කිළිපොලා යන කතාව..

වයිෆ් දාලා ගියා මම කුඩු ගහලාපිස්සෙක් වුණා..
උදේ පාන්දර නැඟිට්ටම තේ වෙනුවට බිව්වේ ගංජා..
‘‘අපේ තාත්තා දකුණු පළාතේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. අම්මට රස්සාවක් කරන්න අවශ්‍ය වුණේ නෑ. අපේ පවුලට කිසිම අඩුපාඩුවක් තිබුණෙත් නෑ. යාන වාහන, වතු පිටි, ව්‍යාපාර සෑම දේකින්ම අපි පොහොසත් වුණා. මට හිටියේ නංගි විතරයි. එයත් මට වඩා අවුරුදු දහයක් බාලයි. පවුලට හිටිය එකම පිරිමි දරුවා මම නිසා අම්මයි, තාත්තයි පුදුම විදිහට මට ආදරය කළා. මම ඉල්ලන හැම දේම දුන්නා. පහ, හය වසර පන්තිවල ඉඳලා ඉස්කෝලෙ යනකොට මගේ පර්ස් එකේ සල්ලි වරදින්නේ නෑ. උදේට අතට අහු වුණේ කීයද පර්ස් එකේ දාගෙන ගියා. ඉස්කෝලේ යාළුවොත් එක්ක එකතු වෙලා ටොෆි, චොක්ලට් කාලා ඒ සල්ලි එදාම ඉවර කළා…’’

‘‘ඉස්කෝලෙට දිග කලිසම් අඳින්න ගත්තට පස්සෙ දැන් අපි ලොකු ළමයි කියන එක හිතට දැනෙන්න ගත්තා. ලොකු අයියලා කරන දේවල් අපිත් කරන්න ගත්තා. පන්තියේ පස් හය දෙනෙක් සෙට් වෙලා හැංගි, හැංගි බීඩි, සිගරට් බිව්වා. ටික කාලයක් යනකොට නිවාඩු දවස්වලට බීච් එකට ගිහින් අරක්කු බිව්වා. එහෙම සෙට් වෙච්ච සමහර වෙලාවට බීච් එකේ රස්තියාදු වෙන කොල්ලොත් අපිට ඇවිල්ලා සෙට් වුණා. ඒ අය අපෙන් නිකං බිව්වේ නෑ ගංජා සුරුට්ටුවක්, දෙකක් අපිට දුන්නා. අරක්කුයි, ගංජා, සිගරට් සේරම බීලා හොඳටම වෙරි වෙලා වැල්ලේ නිදාගෙන ඉඳලා හවස තමයි ගෙවල්වලට ගියේ…’’

‘‘මම උසස් පෙළට කළේ කොමස්. පන්ති ගිහිල්ලා මොන විකාර වැඩ කළත් සී 2 යි. එස් 1 ක් අරගෙන විභාගය පාස් වුණා. ඒත් උසස් පෙළ ප්‍රතිඵල එන්න කලින් මම එස්.ටී.එෆ්. එකට බැඳිලා හිටියේ. එස්.ටී.එෆ්. පුහුණුව අතරතුර තමයි විභාග ප්‍රතිඵල ආවේ. ප්‍රතිඵල එනකම් ඉඳලා එස්.ටී.එෆ්. එකට බැඳුණා නම් කෙළින්ම එස්.අයි. ඉල්ලන්න තිබුණා. මම ගියේ පී.සී. විදිහට. ඒත් අපේ පුහුණුව ඉවර වෙන්නත් කලින් මෙහෙයුම් කලාපවලට යැව්වා. මානුෂීය මෙහෙයුමේ අවසාන කාලය. 2008 අවුරුද්ද. මෙහෙයුම් කලාප ගිනි ගන්නවා. ඒ ගිය ගමන යුද්ධය ඉවර වෙලාත් අවුරුදු තුනක් මෙහෙයුම් කලාපවල හිටියා. ඒ කාලය තුළ ගංජා, සිගරට් හොඳට බිව්වා. නිවාඩු දවස්වලට අරක්කු පාටි. යාපනේ ඉඳලා කොළඹට බැස්ස ගමන් නයිට් ක්ලබ් හොයාගෙන ගියා. ගෙදර යන්නෙ නැතිව ගෑනු තියාගෙන දවස් දෙක, තුන කාමරවල නතරවෙලා හිටියා. ගෙදරට ගියෙ අතේ සතේ නැතිව. ඒ දේවල්වලට හොඳටම ඇබ්බැහි වුණා. අවුරුදු පහකට පස්සෙ තමයි මාව කොළඹට මාරු කළේ. ඒ එක්කම මගේ ඇඟ පත හොඳට තියෙන නිසා බොක්සිං ෆූල් එකට තේරුණා. ඉස්කෝලේ යන කාලේම කරාතේ පන්ති ගිහින් බ්ලැක් පටියත් අරගෙන තිබීම, බොක්සිං ෆූල් එකට තෝරාගැනීමට විශේෂ ඇගයීමක් වුණා…’’

‘‘බොක්සිං පුහුණුවීම්වල නිරත වෙමින්, රාජකාරි කරගෙන යන අතරේ බුද්ධි අංශයට සාමාජිකයන් බඳවා ගන්නවා කැමැති නම් ඉල්ලූම් කරන්න කියලා ඉහළ නිලධාරීන් අපිටත් කිව්වා. සුදුසුකම් තියෙන නිසා මමත් ඉල්ලූම් කළා. පළමු වටයටම මාව තේරුණා. මම බුද්ධි අංශයට එකතු වුණා. යුනිෆෝර්ම් නෑ, සිවිල් ඇඳුම්, නිදහස් රස්සාව. මම රාජකාරි කළේ කොළඹ. අපේ ප්‍රධාන රාජකාරිය වුණේ කුඩු ව්‍යාපාරය ගැන තොරතුරු රැස්කිරීම සඳහා කුඩු ව්‍යාපාරිකයන් කොටුකරගැනීම. කොළඹ වතුවලට බැහැලා කොල්ලොත් එක්ක ගංජා සුරුට්ටුව ගහගෙන, අරක්කු බීගෙන අපේ රාජකාරිය කළා. එතකොට මම උදේ පාන්දර නැඟිට්ටම තේ වෙනුවට බිව්වේ ගංජා. මුළු දවසම ගෙව්වේ ගංජා ෆීලින් එකත් එක්ක. ඒත් අපි රාජකාරිය අකුරටම කළා…’’

‘‘කෙටි කාලයකින් මහා පරිමාණ කුඩුකාරයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට ගන්න අපිට පුළුවන් වුණා. කුඩු තොග අත්අඩංගුවට ගත්තා. නිතරම ගැවසුණේ කුඩුකාරයන් සමඟ. කතා කළේ කුඩු ගැන. ඇහැට දැක්කෙ කුඩු. අත්අඩංගුවට ගත්ත කුඩු තොග පිටින් ඔෆිස් එකෙත් තිබුණා. ඒත් මම කුඩු බොන්න බය වුණා. දවසක් උදේ පාන්දර නැඟිටලා බලනකොට මා ළඟ ගංජා තිබුණේ නෑ. අපිත් එක්ක හිටපු කොල්ලො දෙතුන් දෙනෙකුටම කතා කරලා බඩු තියෙනවද කියලා ඇහුවා. ඒ කා ළඟවත් ගංජා තිබුණේ නෑ. හිත ගංජාම ඉල්ලනවා. කරන්න දෙයක් නෑ කුඩු චුට්ටක් අරගෙන ඊයම් කොළයකට දාලා රත් කරලා නහයට ඇද්දා. වමනේ ගියා. අසාමාන්‍ය විදිහට ඔළුවට බර ගතියක් දැනුණා. එදා තමයි ජීවිතේ පළමු වතාවට කුඩු බිව්වේ. එතකොටත් අපි අතර කුඩු බොන අය හිටියා. ඒත් ඒ කොල්ලො කුඩුවලට ඇබ්බැහි වෙලා හිටියේ නෑ. ඒත් මම හැමදාම උදේට කුඩු චුට්ටක් ගත්තා. මුලදි, මුලදි කුඩුවලින් ෆිලීන් එකක් දැනුණේ නෑ. ඒත් සතියක් විතර යනකොට මට අමුතු වෙනසක් දැනෙන්න ගත්තා. කුඩුත් ඕන තරම් තිබුණා. සල්ලි වියදම් වෙන්නෙත් නෑ. මම දිගටම කුඩු පාවිච්චි කළා. නිවාඩුවට ගෙදර ගිහින් දවස් දෙක ඉන්නකොට ඇඟ රිදිලා උණ ගන්න වගේ ආවා. කන්න බැරි වුණා. අම්මා පස් පංගුව තම්බලා දුන්නා. ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ. ඊට පස්සෙ මම කෑම්ප් එකේ යාළුවකුට කතා කරලා ඇඟේ අමාරුව ගැන කිව්වා. එයා කිව්වා දැන් උඹ කුඩුවලට ඇඩික් වෙලා ඉන්නෙ. කුඩු චුට්ටක් පාවිච්චි කරලා බලපං කියලා…’’

‘‘ඒ මොහොතේම ගමේ යාළුවකුගේ මාර්ගයෙන් කුඩු ටිකක් හොයාගෙන ගෙදර ගිහින් බාත්රූම් එකේ තියාගෙන බිව්වා. ඇඟට දැණුනු වේදනාව සියල්ල දුරු වෙලා ගියා. ඒ එක්කම මට තේරුණා කුඩුවලට ඇඩික් වෙලා කියලා. නතර කරන්න ඕනා කියලා කොච්චර හිතුවත් ඔෆිස් එකේ කුඩු තියෙනවා දැක්කම බොන්නම හිතුණා. එක දිගට කුඩු බිව්වා. ස්පාවලට ගියා. එක දවසේ ගෑනු දෙතුන් දෙනා එක්ක සතුටු වුණා. කුඩු ෆීලින් එක ඇඟට ආවම සෙක්ස්ෂුවල් නැතිවම බැරි වුණා. ?ට නයිට් ක්ලබ් බැස්සා. කෙල්ලො වට කරගෙන කාලා බීලා, මත්ද්‍රව්‍ය අරගෙන ඩාන්ස් කරලා හොඳටම පිස්සු නැටුවා. කෙල්ලො එක්ක බීලා ආතල් ගන්න පිස්සුවක් වෙලා තිබුණේ. එක ?ට හැට, හැත්ත දාහ වියදම් කරලා තියෙනවා. පහුගිය ආණ්ඩුව කාලේ හිටපු ප්‍රධාන ඇමැතිවරයෙක්ගේ පිස්සු පුතෙක් එක්ක ක්ලබ් එකකදී ගෝරි දාගෙන තියෙනවා. බවුන්සර්ලා මැදිහත් වෙලා සිද්ධිය බේරලා දැම්මා. ඇමැති පුතා පැටලෙන්න හැදුවේ මාත් එක්ක. එතකොට අපි ලයිසන් චණ්ඩි. අපේ සෙට් එකේ සියලූ දෙනා හොඳ හයයි, හතරේ කොල්ලො. කිසිම කෙනෙකුට නැවෙන්නේ නෑ. ඊට පස්සේ ඒ ඇමැති පුතා මාත් එක්ක හොඳ හිතවතෙක් වුණා…’’

‘‘විවිධ පුද්ගලයන් ඇසුරු කළා. කිසිම දවසක ආතල්වලට පඩි සල්ලි වියදම් කරලා නෑ. නයිට් ක්ලබ් යන්න, ආතල් ගන්න සල්ලි නැති වුණාම කුඩු ව්‍යාපාරිකයන්ගෙනුත් සල්ලි අරගෙන තියෙනවා. එක පාර රුපියල් ලක්‍ෂ දෙක අරගෙන තියෙනවා. ඒ සල්ලි සේරම වියදම් කළේ නයිට් ක්ලබ්වලට. එක දවසකට අපි සෙට් එකට නයිට් කල්බ් යන්න අඩුම තරමින් රුපියල් හතළිස් දාහක්වත් තියෙන්න ඕනා. ඒ මුදල කොහොමහරි හොයා ගන්නවා. කුඩු ටික නිකං ලැබෙනවා. ස්පාවලින් ගෑනු අපිට නොමිලේ ලැබුණා. අපේ ජීවිත ෆන් එකේම ගෙවිලා ගියා. ඔහොම යනකොට බුද්ධි අංශය ඇතුළේ කුඩුවලට ඇඩික් වෙච්ච අය ඉන්නවා කියලා ඕඅයිසී මහත්තයාගේ කනට ගිහින් තිබුණා. පරීක්‍ෂණ කරලා බලනකොට අපි හය දෙනෙක් කොටු වුණා. පස් දෙනෙක්ව සේවයෙන් පහ කරලා දැම්මා. මාව නැගෙනහිර පළාතේ දුෂ්කරම කෑම්ප් එකකට මාරු කළා. මට එහෙම සමාවක් දුන්නේ එතකොට මම බොක්සිංවලින් ගෝල්ඞ් මැඩල් පවා අරගෙන තිබුණු නිසයි. මගේ ටීම් එක හරහා මහා පරිමාණ කුඩු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ම අත්අඩංගුවට අරගෙන තිබුණු නිසයි. ඒත් දුෂ්කර දැම්මට පස්සෙ මම ගියේ නෑ…’’

‘‘මම ගමට ගියා. පළමු, දෙවැනි, තුන්වැනි ලිපි ආවා මම ගියේ නෑ. ඊට පස්සෙ මා විසින්ම සේවය අතහැර ගිය බවට දැනුම් දුන්නා. ගෙදර නිකං ඉන්නකොට මත්ද්‍රව්‍යයට තදින්ම ඇබ්බැහි වුණා. මත්ද්‍රව්‍යයට ඇඩික් වීමත් එක්ක ඇසුරු කළේ මට ගැලපෙන යාළුවො නෙමෙයි. මම වැරැදි පාරක යන බව දැනගත්ත තාත්තා අපිට දුරින් ඥාති වෙනෙ ගැහැනු ළමයෙක් මට බන්දලා දුන්නා. අපේ වෙඩින් එක තිබුණේ 2015 මාර්තු 28 වැනිදා. කසාද බැන්දට පස්සේ තාත්තා මාව ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ කරගත්තා. හිතාගන්න බැරි විදිහට අතට සල්ලි ආවා. වැඩ කරන අතරේ උදේ ඉඳලා හවස් වෙනකම් කුඩු බිව්වා. මම මොනවහරි මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරන බව වයිෆ්ට තේරුණා. එයා මගෙන් ඇහුවා. මම ඇත්තම විස්තරය කිව්වා. ඊට පස්සෙ කෙල්ල මට බෙහෙත් ගෙනත් දුන්නා. ඒ කිසිම දේකින් කුඩු බීම නතර කරගන්න බැරි වුණා. 2015 අවුරුද්දේම මැයි මාසෙ එයා මාව දාලා ගෙදර ගිහින් මට විරුද්ධව දික්කසාද නඩුවක් දැම්මා. ඒ සිද්ධියෙන් පස්සෙ මට තවත් අවුල් ගියා. තාත්තාගේ ව්‍යාපාර කටයුතුවලින් අයින් වෙලා මතේම ඇලීගෙන හිටියා…’’

‘‘ඊට පස්සෙ තාත්තා මාව ඩුබායි යැව්වා. ඩුබායි සිටි එකේ නයිට් ක්ලබ් එකක බවුන්සර් කෙනෙක් විදිහට වැඩ කළා. කුඩුවලින් ඈත් වෙලා, අරක්කු සිගරට් බීගෙන අවුරුදු දෙකයි මාස දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතිව ජොබ් එක කරගෙන ගියා. ඒත් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා ඒ ජොබ් එකත් අතහැරලා මම ලංකාවට ආවා. ඒ ඇවිල්ලත් කුඩු බිව්වේ නෑ. සියලූ මත්ද්‍රව්‍යවලින් ඈත් වෙලා තාත්තාට උදව් කරගෙන ඉන්නවා කියලා හිතාගත්තා. එහෙම ඉන්නකොට දවසක් මගේ යාළුවෙක් මුණගැහෙන්න දෙහිවල සැලෝන් එකකට ගියා. ඒ සැලෝන් එකේ වැඩ කරන කෙල්ලෙක් ළඟ මගෙ හිත නතර වුණා. ෆෝන් නම්බර් මාරු කර ගත්තා. සතියක් දෙකක් යනකොට අපි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ඇති වුණා. එතකොට මටත් ඕනා වෙලා තිබුණේ වැරැදුණු ජීවිතය හදාගන්න. මම අපේ ගෙදරටත් කිව්වා. ගෑනු ළමයා එයාගේ ගෙදරටත් කියලා තිබුණා. දෙපැත්තේම විරුද්ධත්වයක් තිබුණේ නෑ. ෆැමිලි පාටියක් දාලා අපි දෙන්නා කසාද බැන්දා…’’

‘‘එතකොට මම බියර් එකක් බිව්වෙත් ඉඳලා හිටලා. තාත්තාගේ ව්‍යාපාර බලා කියාගෙන ලස්සනට ජීවත් වුණා. දවසක් බුද්ධි අංශ යාළුවෙක් කතා කරලා මට කිව්වා ‘මචං අපි ලොකු වැටලීමක් කළා. අපි ළඟ බඩු ගොඩක් තියෙනවා. ග්‍රෑම් පහක්, හයක් බොට ඕනද කියලා. කුරුලූ කූඩුව, ලස්සන ජීවිතය සේරම අමතක වුණා…’’

‘දීපං මචං කියලා…’ මම යාළුවට කිව්වා. යාළුව මට කතා කරලා තිබුණේ

අම්බලන්ගොඩ වැටලීමකට එන්න සූදානම් වෙලා. කෝල් එක දීලා පැය දෙකක් යනකොට මගේ අතට කුඩු අහුරක් ලැබුණා. මම හිතාගෙන හිටියේ වෙනසකටත් එක්ක නිකං ලැබුණු කුඩු ටික බීලා නතර කරලා දානවා කියලා. ඒත් මට නතර කරගන්න බැරිව ගියා. පරණ විදිහටම කුඩුවලට ඇඩික් වුණා. ටික දවසක් යනකොට වයිෆ්ටත් තේරුණා…’’

‘ඔයාට පුළුවන් ඕවා නතර කරන්න… අපි හැදෙමු… බෙහෙත් ගමු…’ වයිෆ් මගේ හිත හැදුවා. ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා කුඩු එපා වෙන්න බෙහෙත් ගත්තා. විසි, තිස් වතාවක් විතර බෙහෙත් ගත්තා. ඒත් මට කුඩුවලින් මිදෙන්න බැරි වුණා. වයිෆ්ටත් ඇල්කොහොල්, මත්ද්‍රව්‍ය පුරුදු කරන්න මම උත්සාහ කළා. ඒත් එයා කැමැති වුණේ නෑ. ඒ අවස්ථාවල අපි දෙන්නා අතර ප්‍රශ්න ඇති වුණා. කුඩු සික් එකේ ඉන්නකොට මට කාවවත් රුස්සන්නේ නැතිව ගියා. වයිෆ් එක්ක නිතරම අඩදබර ඇති වුණා. ඒ දේවල් ඉවසගෙන ඉන්න බැරි තැන වයිෆ් මාව දාලා ගෙදර ගියා. ඒත් දික්කසාද වුණේ නෑ. අපේ ගෙදරිනුත් මාව අතහැරලා දැම්මා. ‘අයියා කුඞ්ඩා කියලා’ නංගිට ගමේ කොල්ලො විහිළු කරලා තිබුණා. ඒ නිසා නංගි මාත් එක්ක කතා කරන්නේම නැතිව ගියා. කෑම ටික ඇරෙන්න ගෙදරින් රුපියලක් දුන්නේ නෑ. අතේ සතේ නැති වුණා. මම පිස්සෙක් ගානටම වැටුණා. තනිකරම මගේ ජීවිතේ මතටම ඇලූණා. මත්ද්‍රව්‍ය ගන්න සල්ලි නැති වුණහම ගෙදරින් සල්ලි හොරකම් කළා. තාත්තට කියලා චෙක් ලියාගෙන සල්ලි ගත්තා. වැරැදි ට්‍රැක් එකටම වැටුණා. එතකොට තමයි තාත්තා මේ ආයතනය ගැන විස්තර හොයාගෙන මට කිව්වේ. ඒ වෙනකොට මත්ද්‍රව්‍ය පාවිච්චිය නිසා මමත් හොඳටම හෙම්බත් වෙලා හිටියේ. රස්සාව නැති වුණා. පවුල් ජීවිත නැති වුණා. අනාගතය විනාශ වුණා. තාත්තාගේ යෝජනාවට මම කැමැති වුණා. මුලදි තාත්තා මට කිව්වේ දවස් දාහහතරක භාවනා වැඩසටහනක් කියලා. මමත් හරිම කැමැත්තෙන් ආවා…’’

‘‘තාත්තා කියපු කතාව ඇත්ත හිත හදාගන්න නියම තැන මෙතැන. දැන් මම ඇවිත් මාස තුනක් විතර වෙන්න ආවා. මේ වෙනකොටත් ආයාලේ ගිය හිත එක්තැන් වෙමින් තියෙනවා. බෙහෙත් මොනවත් නෑ, හිතේ තියෙන ජරාජීර්ණ කුණු කන්දල් ඉවත් කරලා යහපත් ආකල්පවලින් හිත පුරවනවා. උදේ, හවස බුදුන් වැඳලා පිළී ආහාරවලින් තොරව පින්බිමක ඉන්න ලැබීමම සිතට සහනයක්. ඒ වගේම මත්ද්‍රව්‍යවලට දැන් මගේ කිසිම ඉඩක් නෑ. ඒත් මගේ ජීවිතයේ නැති වෙච්ච දේවල් ගැන මතක් වෙනකොට හිත හදාගන්න කාලයක් ඕනා. ඒ නිසා මේ ආයතනයේ මාව තියාගන්න උපරිම කාලය ඉන්නවා…’’

‘‘පෙළගැසුණු කතාවේ අවසාන වචන කිහිපය පිට වන විට බුද්ධිගේ මුහුණේ හිනාවක් ඇඳිණි. ඒත් ඔහුගේ පෙනුම රෞද්‍රය. එක් අතක කොටා තිබෙන රකුසු මුහුණ ඔහුගේ රෞද්‍ර බව තවත් වැඩි කරන ගානය. එමෙන්ම කුඩු ලෝලියකු වුවද ඔහු ගතින් වැහැරී ගොස් නැත. හැඩි, දැඩි ඔහුව ගැලපෙන්නෙ විශේෂ කාර්ය බලකායටමය. එහෙත් යහපත් මිනිහෙක් ලෙස සමාජගත වන බුද්ධි නැවත ලංකාවේ ජීවත්වීමට අදහසක් නැත. ඔහුගේ බලාපොරොත්තුව සියල්ල අමතක කර දුර රටකට ගොස් ජීවිතය අලූතින්ම පටන් ගැනීමටය. තවමත් අවුරුදු විසිනවයක් වන බුද්ධිට දුර ගමනක් යෑමට තිබෙන බව සැබෑය. ඒ ගමන මතින් තොර යහපත් දිවිපෙවෙතක් කර ගැනීමට අපිදු ඔහුට ආශිර්වාද කර සිටිමු.

-තරංග රත්නවීර-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *