හිටපු ක්‍රිකට් නායක මැතිව්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීම ගැන අනතුරු අඟවයි…

ආසියානු කුසලානයේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම මට පවරලා…..
ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවත් කියයි

ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිව්ස් ඊයේ ඉවත් වීමට තීරණය කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටු සභාපති ග්‍රැහැම් ලැබ්‍රොයි සහ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග ඊයේ පැවති සාකච්ජාවකින් පසු ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම තීරණය සම්බන්දයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇශ්ලි ද සිල්වා මහතා වෙත ලිපියක්ද ඉදිරිපත් කර තිබෙනවා.

එම ලිපියේ ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කරන්නේ ආසියානු කුසලානයේ ලැබූ පරාජයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡාවකට තමන් පසුගිය සිකුරාදා දිනයේ සහභාගී වූ බවයි.

එම රැස්වීමේදී පුහුණුකරු සහ තේරීම් කමිටු සාමාජිකයින් නායකත්වයෙන් ඉවත්වන ලෙස තමන්ට දැනුම් දුන් බව මැතිව්ස් පවසනවා.

ඔවුන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වූ බවත් ආසියානු කුසලානයේදී ලැබූ පරාජයේ සම්පූර්ණ වගකීම තමන් වෙත පවරමින් එහි බිල්ල තමන් බවට පත්කරගෙන ඇති බවත් මැතිව්ස් මෙම ලිපියෙන් හෙළිකරනවා.

තමන් එම පරාජයේ කොටස්කරුවෙකු වූවත් එහි සම්පූර්ණ වගකීම තමන් දැරිය යුතු නොවන බවයි මැතිව්ස් පෙන්වා දෙන්නේ.

කණ්ඩායම් සම්බන්ධයෙන් ගත් සියළු තීරණ තේරීම් කමිටු සාමාජීකයින්ගේ සහ ප්‍රධාන පුහුණුකරුගේ අනුදැනුම ඇතිව ගත් බවයි මැතිව්ස් පවසන්නේ.

වසර 5 පමණ කාලයක් නායකත්වය දැරීමෙන් අනතුරුව 2017 වසරේදී තමන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ බවත් තමන් නායකත්වය දැරූ අවධියේදී පුමුඛ ජයග්‍රහණ රැසක් කරා කණ්ඩායම රැගෙන ගිය බවත් මැතිව්ස් පෙන්වා දෙනවා

එලෙස කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වී සිටි අවස්තාවක නැවත එක්දින සහ 20-20 නායකත්වය භාරගත්තේ පුහුණුකරු සහ තේරිම් කමිටුවේ ඉල්ලීම මත බවයි මැතිව්ස් පවසන්නේ.

තමන් තවදුරටත් වීරියෙන් වැඩකරමින් කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස තම සේවය ලබාදීමට සැදී පැහැදී සිටින බවයි මැතිව්ස්ගේ අදහස.. නමුත් තමන් කණ්ඩායමට නොසුදුස්සෙකු වන්නේනම් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් කිසිවිටක පසුබට නොවන බවයි මැතිව්ස් අනතුරු අඟවන්නේ.

තමන් හෘද සාක්ෂියට එකඟව කණ්ඩායමට සිය දායකත්වය ලබාදුන් බවත් කණ්ඩායමේ ස්ථානය තමන්ට රැකගැනීමට දක්ෂතාවය ඇති බවත් ඔහු පවසනවා.

නිමාවූ දකුණු අප්‍රිකාව සමග පැවති එක්දින තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා තමන් බව මතක් කරන මැතිව්ස් ලිපිය නිමා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සුභ පතමින්.

අදාළ ලිපිය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *