“මහින්දයි ගෝඨායි බයේ හැංගුණේ නෑ” – මෛත්‍රීට ෆොන්සේකාගෙන් දරුණු පිළිතුරක්..

යුද්ධයේ අවසන් දින කිහිපය පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිව්යෝක් නුවර දී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා අමාත්‍යවරයා දැඩි පිළිතුරක් ලබා දුන්නා.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, යුද්ධය පැවැති සමයේ සිදු කළේ යුද්ධය පමණක් නොවන බවයි.

පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතුව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, යුද්ධයක් ආරම්භ වූ මොහොතේ සිට “කොකා මිරික මිරික” සිටින්නේ නැති බව ද ප්‍රකාශ කළා.

යුද්ධයේ අවසාන දින කිහිපයේ දී හිටපු ජනාධිපතිවරයාට යම් කටයුත්තක් සඳහා විදෙස්ගත වීමට සිදු වූ බවත් තමාටත් චීනයට යන්නට සිදුවූ බවත් ඔහු සිහිපත් කළා.

යුද්ධය පිළිබඳව අවසාන සති දෙකේ දී තීරණය කළ නොහැකි බව අවධාරණය කළ අමාත්‍ය ෆොන්සේකා වැඩිදුරටත් පැවසුවේ අවසාන සති දෙකේ යුද්ධයේ ඉතිරිව තිබුණේ කෝප්‍රල්වරයෙකුට හෝ සාජන්වරයෙකුට වුව ද සිදු කළ හැකි දෙයක් පමණක් බවයි.

යම් අයෙකු සිදු කළ සති දෙකක වැඩ බැලීම මගින් වසර දෙකකටත් වඩා සිදු කළ යුද්ධයක් තේරුම් ගැනීමට හෝ හැකි දැයි අමාත්‍යවරයා ප්‍රශ්ණකොට සිටියා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ආකාරයේ හැංගෙන හමුදාවක් හෝ හැංගෙන හමුදාපතිවරයෙකු නොසිටි බවත් කෙසේ වුව ද හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ද එලෙස හැංගුණේ නැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.

ෆොන්සේකා අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු ලබා දුන්නේ යුද්ධයේ අවසන් සති දෙකේදී එවක ජනාධිපතිවරයා, අගමැතිවරයා, ආරක්ෂක ලේකම්වරයා මෙන්ම හමුදාපතිවරයා ද රටේ නොසිටිය බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්.

අවසන් මොහොතේ LTTEය විසින් කොළඹට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු වාර්තා වීමත් සමග ආරක්ෂාව පතා ඔවුන් මෙලෙස රටින් පිටවූ බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

එම ප්‍රහාරය දකුණු ඉන්දියාවේ සිට දියත්වන්නට ඉඩ තිබුණු බවත් එහි දී කොළඹ නගරය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට ඉඩ ඇති බවට තොරතුරු ලැබී තිබූ බවටත් පැවසූ සිරිසේන ජනාධිපතිවරයා, මෙම තත්ත්වය යටතේ යුද්ධයේ අවසන් දින කිහිපය තුළ සිදු වූ සියළු දේ පිළිබඳව කරුණු දන්නා පුද්ගලයා තමන් බව ද අවධාරණය කළා.

“යුද්ධයේ අවසන් සති දෙක තුළ සියලු දේ පිළිබඳව කරුණු දන්නා කෙනා මමයි. අවසාන සති දෙකේදී මමයි වැඩ බලපු ආරක්ෂක ඇමති. හිටපු ජනපතිතුමා ලංකාවේ නෑ. හිටපු අගමැතිතුමා නෑ, හමුදාපතිවරයා නෑ, හිටපු ආරක්ෂක ලේකම්වරයා නෑ අවසාන සති දෙකේදී.

මේ ගැට හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලා හුඟදෙනෙක් දන්නේ නෑ. මම දන්නවා.

අවසාන සති දෙකේදී ලැබුණ වාර්තාව තමයි අවසන් සටන පසු බසින්නේ නෑ, LTTEය දකුණු ඉන්දියාවේ චෙන්නායි හරි කොහේ හරි කැලෑ පැත්තක ඉදලා කොළඹ සම්පූර්ණ විනාශ කරනවා, උඩින් බෝම්බ දානවා කියලා තොරතුරු ලැබුණා රජයට.

ඒ නිසා තමයි ඒ අය රටින් ගියේ. මේක තමයි ඇත්ත කතාව. අවසන් සති දෙකේදී මම හිටියේ කොළඹ නෙමෙයි. මම හිටියේත් තැන් තැන්වල. මොකද මම ඉන්න තැනත් දැනගන්නවා. ඒක තමයි යුද්ධයේ අත්දැකීම”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *